2026 වසර සඳහා කාන්තා සහ ළමා ක්ෂේත්රයේ ඉදිරි සැළසුම් සකස් කිරීමට අමාත්‍යවරිය වව්නියාවට
February 14, 2026 01:48 pm
2026 වසර සඳහා කාන්තා හා ළමා ක්ෂේත්රයේ ඉදිරි කටයුතු සැලසුම් කිරීමේ අරමුණින් සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (14) ක්ෂේත්‍ර නිලධාරී හමුවක් වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය යටතේ සේවය කරන ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම හමුවේදී, වව්නියා දිස්ත්‍රික්කයේ කාන්තා හා ළමා ක්ෂේත්රයට අදාළ ප්‍රධාන ගැටළු පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරිණි.
ඒ අනුව, කාන්තාවන් සඳහා සුරැකුම් මධ්‍යස්ථාන (Safe Houses) පහසුකම්, මව්වරුන් විදෙස්ගත වීම, උප්පැන්න සහතික නොමැති දරුවන් සහ නවයොවුන් ගැබ් ගැනීම් යන කරුණු සාකච්ඡාවට ලක්විය.
මෙහිදී අමාත්‍යවරිය අවධාරණය කළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් රැස්කරන දත්ත මගින් සැබෑම ප්රතිලාභ අපේක්ෂකයින් හඳුනාගෙන සහාය සැපයීම ක්ෂේත්‍ර නිලධාරීන්ගේ වගකීම බවයි.
වව්නියා දිස්ත්‍රික්කය තුළ කාන්තා ගෘහමූලික පවුල් 7,999ක් පවතින බව වාර්තා වන අතර, එම පවුල් ආර්ථික හා සමාජමය වශයෙන් සවිබල ගැන්වීම මගින් දරුවන් අනාරක්ෂිත වීම වැළැක්වීම සහ ඔවුන්ගේ අධ්‍යාපන අයිතිය සුරැකීම සඳහා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවද අමාත්‍යවරිය උපදෙස් ලබා දුන්නාය.
එමෙන්ම දිස්ත්‍රික්කයේ ක්ෂේත්‍ර නිලධාරී හිඟය විශාල ලෙස නොපවතින නමුත්, පවතින පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කිරීම පිළිබඳවද අවධානය යොමු විය.
2026 කාන්තා දිනය සැමරීම පිළිබඳවද අදහස් හුවමාරුවක් මෙහිදී සිදු කෙරිණි.
මෙම අවස්ථාවට සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය හා වව්නියා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති උපාලි සමරසිංහ මහතා, වව්නියා දිස්ත්‍රික් ලේකම් P.A. සරත්චන්ද්‍ර මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් කමලදාසන් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
