දඹුල්ල ආර්ථිකයේ කෘෂි ශීතාගාර සංකීර්ණයේ වැඩ අවසන් වෙන ලකුණු

දඹුල්ල ආර්ථිකයේ කෘෂි ශීතාගාර සංකීර්ණයේ වැඩ අවසන් වෙන ලකුණු

March 18, 2026   11:18 am

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසළ ඉදිකරමින් පවතින කෘෂි ශීතාගාර සංකීර්ණයේ වැඩ සම්පූර්ණ කිරීම සඳහා සති 6ත් 8ත් අතර කාලයක් තුළ කටයුතු අවසන් කිරීමට සියලු පාර්ශ්ව එකඟතාව පළ කර තිබේ.

එම කෘෂි ශීතාගාර සංකීර්ණයේ වැඩ අවසන් කිරීම සම්බන්ධයෙන් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේදී තීරණාත්මක සාකච්ඡාවකදී මෙම තොරතරු අනාවරණය වී ඇත.

මෙම සාකච්ඡාව සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාද එක්ව සිටියේය.

එහිදී අදහස් දක්වමින් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ, පසුගිය වසරේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් විවෘත කළ මෙම ව්‍යාපෘතිය තවමත් අවසන් නොවීම කනගාටුදායක බවය. 

ව්‍යාපෘතිය තවදුරටත් ප්‍රමාද නොකර අවසන් කිරීමට සියලු පාර්ශ්ව එකඟ විය යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

මේ අතර වහලයෙන් ජලය කාන්දුවීම, පොළොවේ මට්ටම පිළිබඳ පවතින ගැටලුව සහ සිසිලන පද්ධතියේ ඇති ගැටලුකාරී තත්ත්වය දඹුල්ල ශීතාගාර සංකීර්ණය සම්බන්ධයෙන් පවතින ගැටලු බව ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය (CECB) නියෝජනය කරමින් සහකාර අධ්‍යක්ෂ සාමාන්‍යාධිකාරි වී. රත්නම් මහත්මිය මෙම සාකච්ඡාවේ දී පෙන්වා දුන් අතර ඉන් ප්‍රධානතම ගැටලුව වන්නේ සිසිලන පද්ධතියේ ගැටලුව බව පැවසීය.

ඒ අනුව, දෝෂ සහිත සිසිලන යන්ත්‍ර ප්‍රතිස්ථාපනය කිරීම, ආර්ද්‍රතා පද්ධති සකස් කිරීම සහ අවශ්‍ය අවම සිසිලන මට්ටම තීරණය කිරීම සඳහා පියවර ගැනීමට එකඟතාව පළ විය.

ව්‍යාපෘතියේ ඉදිකිරීම් සිදු කළ පුද්ගලික සමාගමේ නියෝජිතයින් සඳහන් කළේ ව්‍යාපෘතිය 99%ක් දැනටමත් අවසන් කර ඇති අතර, ඉතිරිව ඇත්තේ සිසිලන පද්ධතියේ ගැටලුව පමණක් බවයි. සති 4ක් ඇතුළත එය සම්පූර්ණ කිරීමට ඔවුන් සූදානම් බවද ප්‍රකාශ කළහ.

තවද, වෝල්ටීයතා වෙනස්වීම් හේතුවෙන් උපකරණවලට හානි වීමේ අවදානමක් පවතින බැවින්, උපකරණ සවි කිරීමට පෙර වෝල්ටීයතා ස්ථායිකාරකයක් සවි කිරීමේ අවශ්‍යතාවයද අවධාරණය විය.