රාජ්‍ය නිලධාරීන්ට පෞද්ගලික බලපෑම් නොමැතිව නීතියට අනුව වැඩකළ හැකියි - අධිකරණ ඇමති කියයි

රාජ්‍ය නිලධාරීන්ට පෞද්ගලික බලපෑම් නොමැතිව නීතියට අනුව වැඩකළ හැකියි - අධිකරණ ඇමති කියයි

March 24, 2026   06:30 pm

රාජ්‍ය නිලධාරීන්ට පෞද්ගලික බලපෑම් හෝ දේශපාලන පීඩනයෙන් තොරව නීතියට අනුව සහ ජනතාවගේ අවශ්‍යතා අනුව රාජකාරි කිරීමේ නිදහස ලබා දී තිබෙන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

අධිකරණ ආරක්ෂක iii වන ශ්‍රේණියේ තනතුරු සඳහා බඳවා ගත් නිලධාරීන් දැනුවත් කිරිම වෙනුවෙන් මාර්ගගතව Zoom තාක්ෂණය ඔස්සේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති වැඩසටහනකට ඊයේ (23) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය මඟින් සිදු කරන ලද සම්මුඛ පරීක්ෂණයට අනුව  අධිකරණ ආරක්ෂක තනතුරු සඳහා 69 දෙනෙකු බඳවා ගැනීමට කටයුතු යොදා තිබුණු අතර ඒ සඳහා වැඩසටහන ඊයේ දිනයේදී පැවැත්විණි.

මෙහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටියේ රජය බොහෝ අභියෝග මධ්‍යයේ වුවද ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීමට හැකි උපරිමයෙන් උත්සාහ ගනිමින් සිටින නමුත් එය රජයට පමණක් තනිව කළ නොහැකි බවය.

ඒ අනුව මේ සඳහා මෙරට සෑම පුරවැසියෙකු මෙන්ම සෑම රාජ්‍ය සේවකයෙකුගේම සහාය ලැබිය යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.