කිරින්දේ අස්සජි හිමි විදෙස් විශ්වවිද්‍යාලයකින් ජීවිතයේ එක්වරක් පිදෙන සම්මානකින් පිදුම් ලබයි
April 6, 2026 11:35 am
ගෝලීය අධ්‍යාපනය, ආධ්‍යාත්මක නායකත්වය සහ ප්‍රජා සේවය ඇගයීමට ලක් කරමින් එක්සත් රාජධානියේ කැන්ටබරි ක්‍රයිට්ස් චර්ච් විශ්වවිද්‍යාල විසින් මෙරට පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමියන් වෙත සිය කීර්තිමත් ජීවිතයේ එක්වරක් පිදෙන උපහාර සම්මානය පිරිනමා තිබේ.
ඒ පසුගියදා එක්සත් රාජධානියේ කැන්ටබරි හිදීය.
මෙම සම්මාන ප්‍රධානෝත්සවය විශ්වවිද්‍යාලයේ සනාතන පරිශයේදී පැවැත්වුණු අතර දශක ගණනාවක් පුරා උන්වහන්සේ ශ්‍රී ලංකාව තුළ මෙන්ම ජාත්‍යන්තරවද ආගමික නායකත්වය, දේශීය මෙන්ම ජාත්‍යන්තර අධ්‍යාපනය, අන්තර් ආගමික සහජීවනය, සංහිඳියාව, ප්‍රජා අධ්‍යාපනය සහ ප්‍රජා සංවර්ධනය වෙනුවෙන් ඉටුකළ සේවාව මෙහිදී ඇගයීමට ලක් කර ඇත.
කොළඹ හුණුපිටිය ගංගාරාමය විහාරස්ථානයේ විහාරාධිපති මෙන්ම කොළඹ නව කොරළයේ මල්වතු පාර්ශ්වයේ සංඝ නායක ධුරය හොබවන පූජ්‍ය කිරින්දේ අස්සජි නායිමියන් ආගමික මෙන්ම සමාජීය ක්ෂේත්‍රයන්හී පරිවර්ථනීය වෙනසක් සිදුකරන චරිතයක් ලෙස දිගු කලක් ගෞරවාදරයට පාත්‍ර වී තිබේ.
සාමය, සංහිඳියාව සහ එකමුතුකම ප්‍රවර්ධනය කිරීම මෙන්ම ග්‍රාමීය ප්‍රජාවන් නගා සිටුවීම, කාන්තා හා ළමා සුබ සාධනය සහ තිරසාර සංවර්ධන මුලපිරීම් සඳහා උන්වහන්සේ දක්වන කැපවීම සම්මාන උලළේදී විශේෂයෙන් ඉස්මතු කෙරෙිණි.
මෙම අවස්ථාවට විද්වතුන්, රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ ප්‍රජා නියෝජිතයින් රැසක්ද සහභාගී වූ අතර එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් නිමල් සේනාධීර මහතාද සහභාගී විය.
මීට අමතරව ශ්‍රී ලංකාවේ සංචාරක හා සංස්කෘතික කාර්ය සාධක බලකායේ සභාපති සහ කොළඹ විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය ආචාර්ය දුලාන් හෙට්ටිආරච්චි මහතා සහ IDM නේෂන්ස් කැම්පස් හී සභාපති ආචාර්ය ජනගන් විනයගමූර්ති මහතාද මෙම අවස්ථාවට එක්ව තිබුණි.
මෙහිදී අදහස් දක්වමින් අස්සජි හිමියන් පැවසුවේ නාහිමියන් ප්‍රකාශ කලේ මෙම ගෞරවය තමන්ට පමණක් නොව තමන් සේවය කළ ප්‍රජාවන්ට ද හිමිවන බවය.
එමෙන්ම බෙදී ගිය වර්තමාන ලෝකය තුළ බෞද්ධ ඉගැන්වීම්වල ඇති අදාළත්වය අවධාරණය කළ උන්වහන්නේ සැබෑ සාමය ආරම්භ වනුයේ තම තමන් තුළින් බවත් සිතේ සාමය ඇති වූ විට ලොව පුරා සාමය ඇති වන බවද පැවසීය.




