නාරායන ගුරු ස්වාමි ශ්‍රී ලංකාවට පැමිණීමේ සියවස සැමරේ
May 25, 2026 01:04 pm
ඉන්දියාවේ කේරළ ප්‍රදේශයේ ජාති, ආගම්, කුල සහ සමාජ බෙදීම්වලට එරෙහිව විප්ලවීය සමාජ ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයක් ගෙන ගිය ගෞරවනීය ආගමික නායකයෙකු වූ ශ්‍රී නාරායන ගුරු ස්වාමිතුමන්ගේ දෙවන ශ්‍රී ලංකා සංචාරයේ සියවස් සමරු උත්සවය සහ ශ්‍රී නාරායන ගුරු ලෝක කවුන්සිලයේ වාර්ෂික සමුළුව පැවැත්විණි.
ඊයේ (24) කොළඹ 14 ග්‍රෑන්ඩ්පාස් නාරායන ගුරු ස්වාමි ශාලාවේදී මෙම සමුළුව පැවැත් විය.
මෙම උත්සවය පැවැත්වුණේ කේරළයේ වර්කල්හි ශිවගිරි ආශ්රමාධිපති සහ නාරායන ගුරු ශාසනයේ වත්මන් මහා ගුරු ශුද්ධෝත්තම ආචාර්ය ශ්‍රී ස්වාමි සචිදනදාජි තුමන්ගේ ප්‍රධානත්වයෙනි.
ලෝකයේ විවිධ රටවල නාරායන ගුරු සභා නියෝජිතයින්, නාරායන ගුරු ලෝක කවුන්සිලයේ සභාපති ශ්‍රී එස්. සුවර්ණකුමාර් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර, ප්‍රධාන ආරාධිතයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී Mano Ganesan මහතා සහභාගී විය.
ශ්‍රී නාරායන ගුරු ස්වාමිතුමන් 1918 සහ 1926 වර්ෂවලදී ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, කොළඹ 14 ජේතවන පාර ප්‍රදේශයේ අත්හැර දමා තිබූ කුඩා ඉඩමක මඩුවක් ඉදිකර ජීවත් වූ බව සඳහන් වේ. පසුව සිංහල බෞද්ධ ජනතාව සහ මෙරට මලයාලම් ප්‍රජාව එක්ව එම ස්ථානයේ නාරායන ගුරු ස්වාමි ශාලාව ඉදිකර තිබේ.
බෞද්ධ භික්ෂූන් වහන්සේලා සමඟ සමීප සම්බන්ධතා පවත්වාගෙන ගිය නාරායන ගුරු ස්වාමිතුමන් බුදු දහමට ද ගෞරවය දැක්වූ අයෙකු බව සඳහන් කෙරිණි. “එකම ආගමක්, එකම ජාතියක්, එකම කුලයක්” යන දර්ශනය මත සියලු බෙදීම්වලට එරෙහි සමාජ දර්ශනයක් ඔහු ගොඩනැගූ බව ශුද්ධෝත්තම ආචාර්ය ශ්‍රී ස්වාමි සචිදනදාජි තුමන් මෙහිදී ප්‍රකාශ කළහ.
මෙම අවස්ථාවේදී නාරායන ගුරු ප්‍රධාන වන්දනා ගීතිකාව වන “දෛවකාක්ෂම්” ස්ත්‍රෝතය මලයාලම් භාෂාවෙන් සිංහලයට පරිවර්තනය කිරීම හරහා එය ලෝකයේ භාෂා 100කට පරිවර්තනය වූ ගීතිකාවක් බවට පත්කිරීමට දායක වූ ප්‍රසන්නා සුරේෂ් මහත්මියගේ සේවය ද විශේෂයෙන් ඇගයීමට ලක් කෙරිණි.
එමෙන්ම ශ්‍රී ලංකාවේ ශ්‍රී නාරායන ගුරු සංගමයේ සභාපති සහ හිටපු පාර්ලිමේන්තු භාෂා පරිවර්තක එම්.කේ. රාහුලන් මහතාට සහ උප සභාපති සුරේන්ද්‍ර මාධවන් මහතාට ද විශේෂ ඇගයීම් පිරිනැමුණි.
බෞද්ධ, හින්දු, කතෝලික සහ මුස්ලිම් ආගමික නායකයින් එක්වූ මෙම උත්සවයේදී ප්‍රදේශයේ සියලු ආගම් නියෝජනය කරන පාසල් දරුවන්ට පාසල් පොත් සහ උපකරණ කට්ටල බෙදාදීමද සිදු කෙරිණි.
