මේ වසරේදී ලාංකිකයින් 250,000කට විදේශ රැකියා
July 23, 2026 01:28 pm
2026 වසර තුළ ශ්‍රී ලාංකිකයින් 250,000කට විදේශ රැකියා අවස්ථා ලබාදීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සැලසුම් කර තිබේ.
ශ්‍රී ලංකා රජය සහ කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිතායතන හරහා මෙම රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයින් වෙත ලබාදීමට කටයුතු කෙරෙන බව එම කාර්යාංශය සඳහන් කරයි.
මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හමුවේ ශ්‍රී ලාංකිකයින් රැකියා සඳහා විදේශගතවීමේ යම් අඩුවක් පෙන්නුම් කළද, ආරක්ෂිත ගමනාන්ත වෙත ඉහළ වැටුප් සහිත රැකියා සඳහා ශ්‍රමිකයින් යොමු කිරීමට කාර්යාංශය පියවර ගනිමින් සිටී.
ඒ අනුව, 2026 වසරේ මේ දක්වා ශ්‍රී ලාංකිකයින් 143,087 දෙනෙකු රැකියා සඳහා විදේශගත වී ඇති අතර, ඉන් 92,590 දෙනෙකු පිරිමි ශ්‍රමිකයින් වන අතර 50,497 දෙනෙකු කාන්තා ශ්‍රමිකයින් වේ.
මේ අතර, ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් අතර ජනප්‍රිය ගමනාන්තයක් වන ඊශ්‍රායලය වෙත ශ්‍රමිකයින් 14,000 දෙනෙකු යොමු කිරීමට කාර්යාංශය සැලසුම් කර ඇති අතර, මේ වන විට ඉන් 7,873 දෙනෙකු රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.
එසේම, දකුණු කොරියාව වෙත ශ්‍රමිකයින් 8,000 දෙනෙකු යොමු කිරීමට අපේක්ෂා කරන අතර, මේ වන විට 4,794 දෙනෙකු එරට රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව සඳහන් වේ.
කාර්යාංශ දත්ත අනුව, 2026 වසරේ මේ දක්වා නිපුණතා සහිත රැකියා සඳහා ශ්‍රමිකයින් 73,623 දෙනෙකු විදේශගත වී ඇති අතර, නුපුහුණු රැකියා සඳහා ශ්‍රමිකයින් 69,494 දෙනෙකු විදේශගත වී තිබේ.
මේ අතර, 2026 වසරේ ජනවාරි සිට ජූනි දක්වා මාස හයක කාලය තුළ විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විසින් ඇමෙරිකානු ඩොලර් බිලියන 4.6ක මුදලක් මෙරටට ප්‍රේෂණය කර තිබේ.
