ඉන්දියාවේ 76වන ජනරජ දින සැමරුම් උත්සවයට ශ්‍රී ලංකාවට නිල ආරාධනයක්
January 11, 2025 09:49 am
නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් ආනන්ද් මුකුන්දන් සහ සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් මන්දීප් සිං නේගි අතර හමුවක් සිදුවිය.
ඒ, ඊයේ (10) කොළඹ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේදී ය.
මෙහිදී ජනවාරි 26 වන දින ඉන්දියාවේ 76 වන ජනරජ දින සැමරුම් උත්සවයට සහභාගී වන ලෙස කපිතාන් මුකුන්දන් නියෝජ්‍ය අමාත්‍යවරයාට නිල ආරාධනයක් කළේය.
ද්විපාර්ශ්වික ආරක්‍ෂක සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා ඇති අවස්ථා පිලිබඳවද දෙපාර්ශ්වයම අතර සාකච්ඡා කර තිබේ.
දෙරට අතර, ශක්තිමත් පුද්ගලාන්තර සම්බන්ධතා වර්ධනය කිරීමේ වැදගත්කම නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අවස්ථාවේ අවධාරණය කර ඇති අතර ඉන්දියාවෙන් අඛණ්ඩව ලැබෙන හමුදා සහාය පිළිබඳ සිය කෘතඥතාව ද පළ කර තිබුණි.
මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම් සඳහා ඉන්දියාව දක්වන සහයෝගය මේජර් ජෙනරල් ජයසේකර මහතා අගය කළ අතර, මෙම දැවෙන ගැටලුවට එරෙහිව සටන් කිරීම සඳහා අන්‍යෝන්‍ය කැපවීම මෙහිදී අවධාරණය කෙරුණි.