පොළොන්නරුවේ සහ අනුරාධපුරයේ ගමන් ගන්නා අයට විශේෂ නිවේදනයක්

පොළොන්නරුවේ සහ අනුරාධපුරයේ ගමන් ගන්නා අයට විශේෂ නිවේදනයක්

January 19, 2025   09:40 pm

අද (19) අයහපත් කාලගුණය හේතුවෙන් පොලොන්නරුව සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනය අවහිර වී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

ඒ අනුව පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පොලොන්නරුව - මඩකලපුව මාර්ගයේ මනම්පිටිය ප්‍රදේශයේ සිට ගල්ලෑල්ල දක්වා වූ කොටස ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනය සම්පුර්ණයෙන්ම ඇණහිට ඇති බැවින් මඟීන්ගේ පහසුව සඳහා මනම්පිටිය සිට කඳුරුවෙල දක්වා විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් යොදා තිබේ.

පොලොන්නරුව - සෝමාවතිය මාර්ගයේ කිලෝමීටර් 35 හා 37 අතර ප්‍රදේශයේදී ජල ගැලීම හේතුවෙන් ගමනාගමනය සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇති අතර සෝමාවතිය පුදබිමට පැමිණිය හැකි සෝමාවතිය - සේරුවාවිල මාර්ගයේ ද ඇතැම් ස්ථාන ජලයෙන් යටවීම හේතුවෙන් මාර්ගය අවහිර වී ඇති බව දැනුම් දී ඇත.

එමෙන්ම, අරුණපුර - අරලගංවිල මාර්ගයේ ස්ථාන කිහිපයකම ජලය යටවීම හේතුවෙන් ගමනාගමනය සම්පුර්ණයෙන්ම අවහිර වී තිබේ.

 පල්ලියගොඩැල්ල - සුංගාවිල මාර්ගයේ පඹුරාන පාලම අසල ජලය යටවීම හේතුවෙන් යාය 08 ප්‍රදේශයේ ගමනාගමනය සම්පුර්ණයෙන්ම අවහිර වී ඇති බව සඳහන් වේ.

මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ කොහොඹගස් හන්දිය - මල්වතුඔය පාලම අතර කොටස මල්වතුඔය පිටාර ගැලීම හේතුවෙන් ගමනාගමනය සම්පුර්ණයෙන්ම අවහිර වී ඇත.

අවුකන සිට වලව්වේගම හරහා කලාවැව මාර්ගයේ අවුකන විහාරය ආසන්නයේ ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනය සම්පුර්ණයෙන්ම අවහිර වී ඇති බව සඳහන් වේ. 

තවද ගල්නෑව සිට අළුබද්ද හරහා හිරිපිටියාගම මාර්ගය හඳුන්ගම පාලම ආසන්නයේ ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනය අවහිර වී තිබේ.

එමෙන්ම තත්තිරිමලය සෙට්ටිකුලම මාර්ගයේ බෝගොඩ පාලම ආසන්න ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනය ද අවහිර වී ඇත.

මේ අනුව පොලීසිය ඉල්ලා සිටින්නේ ඉහත ප්‍රදේශවල හරහා ගමන් කරන මහජනතාවට සහ රියදුරන්ට අදාළ දැනුම්දීම් සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙසටය.

එමෙන්ම ජල ගැලීම් සිදූ වූ ස්ථානයන්හි දැන්වීම් පුවරු යොදා විකල්ප මාර්ග සඳහන් කර මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කර ඇති බැවින්  එම ස්ථානයන්හි රථවාහන නිලධාරීන් රාජකාරි යෙදවීමට කටයුතු කර ඇති බවද දැනුම් දී තිබේ.

ඒ අනුව ඔවුන්ගේ උපදෙස් පිලිපදින ලෙසට ද ඉහත ප්‍රදේශවල හරහා ගමන් කරන මහජනතාවගෙන් හා රියදුරන්ගෙන් පොලීසිය ඉල්ලා සිටියි.