අල්ලස් ගත් කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් අත්අඩංගුවට

අල්ලස් ගත් කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් අත්අඩංගුවට

January 23, 2025   11:14 am

රුපියල් දෙලක්‍ෂ පනස්දහසක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත් කම්කරු දෙපාර්තමේන්තුවේ, බටහිර කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කම්කරු නිලධාරියෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්කිස්ස ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ඊයේ (22) පස්වරුවේ ගල්කිස්ස, ගාලු පාර, ටෙම්පල්ස් පාර හන්දිය අසල පිහිටි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඉදිරිපිට සැකකරු අත්අඩංගුවට ඇත.

පැමිණිලිකරු විසින් පවත්වාගෙන යනු ලබන ආයතනයේ සේවකයින්ට මාසිකව ගෙවනු ලබන මූලික වැටුප රුපියල් පන්දහසකින් වැඩි කළ යුතු බවත්, එම වැඩි කළ මුදලට අදාළව රජයට ගෙවිය යුතු සේවක අර්ථසාධක මුදල් ගෙවිය යුතු බවත්, මෙම ආයතනය සම්බන්ධයෙන් පෙර වැරදි ඇති බවත් දන්වා ඒ සම්බන්ධයෙන් උසස් නිලධාරීන් දැනුවත් කර නීති මඟින් කටයුතු නොකර සිටීම සඳහා සහ විමර්ශන කටයුතු සඳහා භාරයට ගත් ලේඛන නැවත ලබාදීම සඳහා මෙම අල්ලස් මුදල් ලබා ගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.