මර්වින් සිල්වාට අධි චෝදනා භාරදෙයි
June 6, 2025 09:51 am
වසර දෙකක් තුළ සිය නිත්‍යානුකූල ආදායම අබිභවා රුපියල් කෝටි ගණනක දේපළ, යාන වාහන සහ බැංකු ගිණුම් පවත්වාගෙන යාම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකිරීමට අදාළව හිටපු කම්කරු හා මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබේ.
අදාළ අධිචෝදනා පත්‍රයේ දැක්වෙන්නේ කොළඹ - 07 අර්නස්ට් ද සිල්වා මාවතේ ඉඩමක් මිලදී ගැනීම සඳහා හත් කෝටි දහතුන් ලක්ෂ අනූ නව දහසක මුදලක් ද, කඩවත ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීම සඳහා එක්කෝටි 39 ලක්ෂ අනූනව දහසක මුදලක්ද හිටපු අමාත්‍යවරයා විසින් වැයකර ඇති බවය.
එසේම සිය පුත් මාලක සිල්වා වෙනුවෙන් mercedes benz රථයක් මිලදී ගැනීම සඳහා තුන්කෝටි 23 ලක්ෂ 75000ක මුදලක්ද, 'හයි හුන්ඩායි' මෝටර් රථයක් මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 55කට අධික මුදලක් ද, ඩිෆෙන්ඩර් රථයක් මිලදී ගැනීම සඳහා අසූ අට ලක්ෂ පනස්දහසක මුදලක්ද වැයකිරීම සම්බන්ධයෙන්ද හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව චෝදනා ගොනුකර තිබේ.
එකී වරදට අදාළව නීත්‍යානුකූල වත්කම් හා ආදායම්වලින් උපයාගත නොහැකි වූ දේපළ හිමිකරුවෙකු සිටිම සම්බන්ධයෙන් අල්ලස් පනතේ වරද දෙකක් යටතේ මෙම අධිචෝදනා ගොනුකිරීම සිදුකර ඇති බව අධිචෝදනා පත්‍රයේ සඳහන් වේ.
ඒ අනුව විත්තිකාර මර්වින් සිල්වාට අධිචෝදනා පත්‍ර භාරදීම අද දිනට නියමිතව තිබූ අතර, කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයේ ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස්කර විකිණීම සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මර්වින් සිල්වාව බන්ධනාගාර නිලධාරින් විසින් කොළඹ මහාධිකරණයට රැගෙන එනු ලැබීය.
එහිදී මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ විත්තිකාර මර්වින් සිල්වා මහතාට අධිචෝදනා පත්‍ර භාරදීම සිදුවිය.
අනතුරුව එම නඩුවට අදාළව මර්වින් සිල්වා ඇපමත මුදාහැරුණි.
කෙසේ වෙතත් කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයේ ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර විකිණීම සම්බන්ධයෙන් මහර මහේස්ත්‍රාත් අධිකරණය විසින් මර්වින් සිල්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බැවින් බන්ධනාගාර නිලධාරින් ඔහුව යළි රක්ෂිත බන්ධනාගාරයට රැගෙන ගියේය.