මරණ දඬුවම ලබා වසර 10ක් කට්ටි පැන්න අයෙක් කොටුවෙයි

මරණ දඬුවම ලබා වසර 10ක් කට්ටි පැන්න අයෙක් කොටුවෙයි

July 2, 2025   04:07 pm

බදුල්ල මහාධිකරණයේදී විභාග වූ නඩුවකදී මරණ දඬුවම නියම වී වසර 10ක කාලයක් අධිකරණය මගහැර සිටි පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව සැකකරු බදුල්ල මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහාධිකරණ විනිසුරු මහින්ද ලියනගම මහතා ඔහුව එළැඹෙන 15වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කර ඇත.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ හාලිඇල ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක්ය.

බදුල්ල ප්‍රදේශයේදී පොල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමක් සම්බන්ධයෙන් මොහුට විරුද්ධව බදුල්ල පොලීසිය විසින් බදුල්ල මහාධිකරණයේ නඩුවක් පවරා තිබේ.

නඩුව විභාගවෙද්දී ඔහු ප්‍රදේශයෙන් පලාගොස් තිබූ බැවින් විත්තිකරු නොමැතිව එම නඩුව විභාග කර තිබේ.  

ඉදිරිපත් වූ සාක්ෂිවලට අනුව නඩුව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇතැයි පැවසූ එවකට සිටි මහාධිකරණ විනිසුරුවරයා 2015.04.27 දින නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ඔහුට මරණ දඬුවම නියම කර ඇත.

කෙසේ නමුත් ඔහු සොයාගත නොහැකි බව පොලීසිය විසින් අධිකරණයට කරුණු දැක්වීම නිසා ඔහුට විවෘත වරෙන්තු නිකුත් කිරීමට අධිකරණය කටයුතු කළේය.

එහෙත් වසර 10ක පමණ කාලයක් අධිකරණය මගහැර සිටි ඔහු පසුගියදා මොනරාගල බුද්ධම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එලෙස ඔහු අත්අඩංගුවට පත්ව ඇත්තේ බිරිඳට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකටය.

ඔහු සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමේදී අනාවරණය වී ඇත්තේ සැකකරුට එරෙහිව බදුල්ල මහාධිකරණයෙන් මරණ දඬුවම පනවා තිබූ බවය.

එම පුද්ගලයා අධිකරණය මගහැර පලාවිත් බුද්දම ප්‍රදේශයේ පදිංචි වී ඇති අතර, එහිදී මෙම කාන්තාව විවාහ කරගෙන කුලී වැඩකරමින් සිට ඇති බව විමර්ශනවලදී අනාවරණය වූ වී ඇත.

පොලීසිය විසින් සැකකරුගේ සවිස්තර වාර්තාවක් සමග ඉකුත්දා සියඹලාන්ඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිපත් කිරීමෙන් පසු වැඩිදුර විමර්ශන සඳහා බදුල්ල පොලීසියට භාරදී තිබේ.

ඒ අනුව බදුල්ල පොලීසිය විසින් සැකකරු බදුල්ල මහාධිකරණයට ඉදිරිපත්කර ඇති අතර, එහිදී ඔහු ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝගකර ඇත.