බිරිඳ පණපිටින් පුළුස්සා දැමූ ඉන්දීය සැමියෙකුට මරණ දඬුවම

බිරිඳ පණපිටින් පුළුස්සා දැමූ ඉන්දීය සැමියෙකුට මරණ දඬුවම

September 3, 2025   03:22 pm

තම බිරිඳගේ සමේ පැහැය නිසා ඇය පණපිටින් පුළුස්සා දැමීම සම්බන්ධයෙන් ඉන්දියානු ජාතිකයෙකුට එරට අධිකරණයක් විසින් මරණ දඬුවම නියම කර තිබේ.

මෙම අවාසනාවන්ත මරණය උරුම වී ඇත්තේ ලක්ෂ්මි නම් කාන්තාවකටය.

උතුරු උදයිපූර් නගරයේ දිස්ත්‍රික් විනිසුරු රාහුල් චෞද්‍රි විසින් මෙම මරණ දඬුවම ලබාදී ඇත.

සිය තීන්දුව පැහැදිලි කරමින් ඔහු පවසා ඇත්තේ, මෙම ඝාතනය 'දුර්ලභතම දුර්ලභ' කාණ්ඩයට අයත් බවත් එය ' එය මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් බවත්ය.

2017 ජුනි 24 වන දින රාත්‍රියේ ලක්ෂ්මිගේ මරණය සිදුව ඇත.

මියගිය කාන්තාවගේ සැමියාවන කිෂාන්දාස්ගේ අවස්ථා කිහිපයකදීම තමන්ව විවිධ වූ හිංසා පීඩාවන්ට ලක්කළ බව මෙම ඝාතනයට පෙර ඇය පවසා තිබේ.

ඒ සම්බන්ධයෙන් ඇය පොලීසියට, වෛද්‍යවරුන්ට පවසා ඇති අතර අධිකරණයේද පිහිට පතා ඇත.

එහිදී ඇය පවසා ඇත්තේ තම සැමියා තමන්ට පැහැපත් සමක් නොමැතිවීම හේතුවෙන් නිරන්තරයෙන් වධහිංසාවන්ට ලක්කළ බවය.

2016 වසරේ විවාහ වූ දා සිට තම සැමියා ඇයට 'කාලි' යනුවෙන් පවසමින් තම සමේ වර්ණයට ලැජ්ජා කළ බවද ඇය ජීවත්ව සිටියදී පවසා ඇත.

අධිකරණ වාර්තාවට අනුව ලක්ෂ්මි මියගිය දින රාත්‍රියේ ඇගේ සැමියා කිෂාන්දාස් දුඹුරු පැහැති දියරයක් සහිත ප්ලාස්ටික් බෝතලයක් ඇයට ගෙනවිත් දී ඇත.

එය සම පැහැපත් කරන ඖෂධයක් බව පවසා එය ඇගේ ශරීරයේ ආලේප කිරීමට උත්සාහ දරා තිබේ.

නමුත් එම ඖෂධ බෝතලයේ ඇසිඩ් සුවඳක් එන බව පවසා ඇය ආලේප කිරීම වළක්වා ඇත.

එම අවස්ථාවේ ඇගේ සැමියා බෝතලයේ තිබූ දියරය ඇගේ ඇගට වත්කර හඳුන්කූරකින් ගිනි තබා එම ස්ථානයෙන් පලා ගොස් ඇත.

අනතුරුව දෙමාපියන් සහ සහෝදරිය ඇයව රෝහලට ගෙනගියත් ලක්ෂ්මි ජීවිතයෙන් සමුගත්තාය.

'මෙම හද කම්පා කරවන කුරිරු අපරාධය ලක්ෂ්මිට එරෙහිව පමණක් නොව, එය මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් බව' විනිසුරු චෞද්රි මරණ දඬුවම නියමකරමින් පැවසීය.

කිෂාන්දාස්ගේ නීතිඥවරයා පවසා ඇත්තේ, ලක්ෂ්මිගේ මරණය අහම්බයක් බවත්, ඔහුට එල්ලකරන චෝදනා අසත්‍ය බවය.

ඒ හේතුවෙන් මරණ දඬුවම ලබාදුන් නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බවද හෙතෙම පවසා ඇත