රුමේනියාවේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ සැකකරු රිමාන්ඩ්

රුමේනියාවේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ සැකකරු රිමාන්ඩ්

November 1, 2025   04:00 pm

රුමේනියාවේ රැකියා ලබා දෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් රුපියල් කෝටි 74කට අධික මුදලක් වංචා කළ විදේශ රැකියා ආයතනය හිමිකරුවෙකු එළැඹෙන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සැකකරු මහරගම ප්‍රදේශයේ විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යමින් රුමේනියාවේ රැකියා ලබා දෙන බව පවසා මෙලෙස මුදල් වංචා කර ඇති අතර විදේශ රැකියා කාර්යාංශය සඳහන් කළේ සැකකරුට එරෙහිව පැමිණිලි 470ක් පමණ කාර්යාංශයට ලැබී ඇති බවය.

එම පැමිණිලි සම්බන්ධව ඉදිරි විමර්ශන සඳහා කාර්යාංශය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීමටද පියවර ගෙන තිබුණි.

මෙම ඒජන්සිය හිමිකරු නීතිඥයින් මාර්ගයෙන් පසුගිය ඔක්තෝබර් 30 වැනි දින අධිකරණයට බාර වීමෙන් අනතුරුව ඊයේ (31) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

පසුව ඊයේ දිනයේදී අදාළ නඩුව අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විදේශ රැකියා ආයතනයක හිමිකරුට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කර තිබේ.

එහිදී සැකකරු විසින් රුමේනියාවේ රැකියා ලබා දෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් රුපියල් කෝටි 74කට අධික මුදලක් වංචා කළ බවට කරුණු ඉදිරිපත් කළ අතර සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකරු නොවැම්බර් මස 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.

එහිදී එම නඩුවේ තවත් සැකකාරියක වන එම ඒජන්සිය හිමිකරුගේ බිරිඳ ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.