GovPay ඩිජිටල් ගෙවීම් රුපියල් බිලියනයේ සීමාව පසුකරයි

GovPay ඩිජිටල් ගෙවීම් රුපියල් බිලියනයේ සීමාව පසුකරයි

November 4, 2025   06:34 am

මෙරට රාජ්‍ය සේවාවන් සඳහා හඳුන්වා දී ඇති ඩිජිටල් ගෙවීම් පද්ධතිය වන 'GovPay' හරහා රුපියල් බිලියනයකට අධික ගෙවීම් ප්‍රමාණයක් සිදුකර තිබේ.

ඊයේ (03) දිනය වන විට මෙම සන්ධිස්ථානය පසුකිරීමට හැකිවී ඇති අතර මේ වන විට රාජ්‍ය ආයතන 200ක් මෙම ඩිජිටල් ගෙවීම් පද්ධතිය හා එක්ව ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය සඳහන් කළේය.

රාජ්‍ය සේවාවන්වල ආරක්ෂිත සහ මාර්ගගත ගෙවීම් කටයුතු සඳහා 'GovPay'ඩිජිටල් ගෙවීම් පද්ධතිය ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය සහ ලංකා පේ එක්ව හඳුන්වා දී තිබේ.

බදු, දඩ ඇතුළු විවිධ රජයට අදාළ ගනුදෙනු වේගවත් පහසු සහ මුදල් රහිතව සිදුකිරීමේ අරමුණින් මෙම නව ගෙවීම් පද්ධතිය හඳුන්වා දුන් අතර ඊයේ දිනය වන විට මෙමඟින් ගනුදෙනු 40,920ක් සිදුකර ඇති බව වාර්තා වේ.

මෙම වැඩසටහනේ මීළඟ අදියර ලෙස රාජ්‍ය ආයතන දහසක් එක්කර ගැනීම සහ රුපියල් ට්‍රිලියනයක ගෙවීම් සීමා පසුකිරීම අරමුණ වී ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය පවසයි.