BYD වාහන රේගුවෙන් මුදා හැරීමේ ප්‍රමාදයට විසඳුම් ඉල්ලා විරෝධතාවක්
November 4, 2025 03:46 pm
BYD වාහන රේගුවෙන් මුදා හැරීමේ ප්‍රමාදයට විසඳුම් ඉල්ලා අද(04) කොළඹදී විරෝධතාවක් පැවැත්විණි.
ඒ කොළඹ පිහිටි BYD වාහන ප්‍රදර්ශනාගාරය ඉදිරිපිටදීය.
එහිදී විරෝධතාකරුවන් සඳහන් කර ඇත්තේ ශ්‍රි ලංකා රේගුව විසින් BYD වාහන රඳවා තබා ගැනීමට ගෙන ඇති තීරණය හේතුවෙන් එම වාහන සාමාන්‍ය පරිදි මිලදී ගැනීමට බාධා මතුව ඇති බවය.
එම නිසා ශ්‍රී ලංකා රේගුව ඇතුළු වගකිව යුතු පාර්ශව මැදිහත්ව කඩිනමින් ඊට විසඳුම් ලබා දිය යුතු බවත් විරෝධතාකරුවන්ගේ ඉල්ලීම විය.
මීට මාස කිහිපයකට පෙර මෙරටට ආනයනය කළ BYD වාහන රඳවා තබා ගෙන පරීක්ෂා කිරීමට රේගුව කටයුතු කළ අතර ඒ මෙතෙක් අනුගමනය කළ නිල ක්‍රියා පටිපාටියට අනුව වාහනයේ නිෂ්පාදකයාගේ සහතිකය පිළිනොගන්නා බව පවසමිනි.
කෙසේ නමුත් BYD වාහන රඳවා තබා ගැනීම පිළිබඳව අධිකරණ කටයුතු තවමත් සිදුවන බැවින් JKCG Auto සමාගම නිවේදනය කර ඇත්තේ පවතින තත්ත්වයට සාධාරණ විසඳුමක් රේගුව පාර්ශ්වයෙන් කඩිනමින් ලැබෙනු ඇති බවට අපේක්ෂාවෙන් පසුවන බවය.
