හිටපු NPP මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියා රිමාන්ඩ්

හිටපු NPP මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියා රිමාන්ඩ්

November 12, 2025   01:08 pm

අනුරාධපුරය ප්‍රදේශයේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා සහ අනෙක් සැකකරු එළැඹෙන නොවැම්බර් මස 26වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තඔුත්තේගම මහෙස්ත්‍රාත් ගයාත්‍රි හෙට්ටිආරචිචි මෙනවිය අද (12) නියෝග කළාය.

සැකකරුවන්  සන්තකයේ තිබියදී පොලීසිය භාරයට ගෙන ඇති හෙරෝයින් බවට සැක කෙරෙන ද්‍රව්‍ය ද රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර ඊට අදාළ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටත් එහිදී අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට නියෝග කර තිබුණි.

මෙලෙස රිමාන්ඩ් ගත කළේ තඔුත්තේගම අධ්‍යපන කලාපයේ එප්පාවල කටියාව යාය10 ප්‍රදේශයේ පාසලක වැඩ බලන විදුහල්පතිවරයෙකු ලෙස සේවය කළ ජයන්ත බාලසූරිය සහ එප්පාවල ඇදගල නල්ලමුදාව පාර පදිංචිව සිටි තරිදු ධනංජය වික්‍රමසිංහ යන දෙදෙනාය.
 
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශ්‍ය පැවසුවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුටරත් විමර්ශන සිදුකෙරෙන බවය.

ඒ අනුව, එකී විමර්ශන සඳහා සැකකරවන්ගේ දුරකථන විශ්ලේෂණ වාර්තා විමර්ශන නිලධාරීන්ට අවශ්‍ය බවද කියා සිටි පොලීසිය, සැකකරුවන්ගේ නමින් ඇති දුරකථන  සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තා විමර්ශන නිලධාරීන්ට ලබාදෙන ලෙසට සියලු දුරකථක සාමාගම් වල කළමනාකාරිත්වයන්ට නියෝග කරන ලෙසට ද ඉල්ලා සිටියේය.

එහිදී මහෙස්ත්‍රාත්වරිය විසින්, සැකකරුවන්ගේ නමින් ඇති දුරකථන සම්බන්ධයෙන් දුරකථන විශ්ලේෂණ වාර්තා පොලීසියට ලබාදෙන ලෙසට සියලු දුරකථන සමාගම්වල කළමනාකාරීත්වයන්ට නියෝග කර ඇත.

මෙම නියෝග ලබා දී ඇත්තේ මෙම සැකකරුවන් දෙදෙනාව අධිකරණ නියෝග මත අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් දින 07ක කාලයක් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අද යළි තඔුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

සැකකාර විදුහල්පතිවරයා අත්අඩංගුවට ‍ගත් අවස්ථාවේ ඔහු සතුව හෙරෝයින් කිලෝ  1 යි ග්‍රෑම් 184 යි මිළි ග්‍රෑම් 400 ක් තිබී හමු වූ අතර අනෙක් සැකකරු සතුව තිබී හෙරෝයින් ග්‍රෑම් 69 ක් සෙයාගෙන තිබුණි.

අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව සැකකාර‍ විදුහල්පතිවරයාගේ වැඩ තහනම් කිරීමට උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් කටයුතු කළේය.

එමෙන්ම සැකකාර විදුහල්පතිවරයාගේ බිරිඳ පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රිවරියක ලෙස කටයුතු කළ අතර සිය සැමියා හෙරෝයින් සමඟ අත්අඩංගුවට පත්වීමත් සමඟ ඇය සිය මන්ත්‍රි ධූරයෙන් ඉල්ලා අස් විය.