බෝම්බ ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් යළි ලංකාවට එන්න සැරසෙයි
November 12, 2025 08:30 pm
ඉස්ලාමාබාද්හි සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් 16 දෙනෙකුම යළි ශ්‍රී ලංකාවට පැමිණීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
මේ හේතුවෙන් දෙරට අතර හෙට (13) පැවැත්වීමට නියමිත දෙවන එක්දින තරගයද ක්‍රීඩා නොකරනු ඇතැයි සඳහන්.
කෙසේ නමුත් තරගාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා ආදේශක කණ්ඩායමක් යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර ඇති බවද වාර්තා වේ.
මෙම බෝම්බ ප්‍රහාරය එල්ලවීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව තර කිරීමට පාකිස්තාන ආරක්ෂක අංශ කටයුතු කළේය.
එරට අභ්‍යන්තර කටයුතු පිළිබඳ ෆෙඩරල් අමාත්‍යවරයා මෙන්ම පාකිස්තාන ක්‍රිකට් (PCB) සභාපති මොහ්සින් නක්වි ශ්‍රී ලංකා කණ්ඩායමේ නිලධාරීන් හමු වී ඔවුන්ට සම්පූර්ණ ආරක්ෂාව ලබාදෙන බවටද සහතික විය.
ඉස්ලාමාබාද්හි අධිකරණ සංකීර්ණයක් ඉදිරිපිට ඊයේ (11) දහවල් සිදු වූ මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තවත් බොහෝ දෙනෙකු තුවාල ලැබීය.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් පාකිස්තානය ඍජුව චෝදනා කර ඇත්තේ ටෙහ්රීක්-ඊ-තලේබාන් පාකිස්තානය (TTP) නම් ත්‍රස්ත කණ්ඩායමටය.
එමෙන්ම ඔවුන්ට සිය භූමියේ ත්‍රස්ත ක්‍රියා සිදුකිරීමට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් පාකිස්තානය ඇෆ්ගනිස්තාන රජයට ද චෝදනා කර සිටියි.
විදෙස් ක්‍රිකට් කණ්ඩායම් පාකිස්තානයේ සංචාරයක නිතරව සිටියදී අවස්ථා කිහිපයකදී මෙවැනි ත්‍රස්ත ප්‍රහාර සිදුව තිබේ.
මීට වසර තුනකට පෙර නවසීලන්ත කණ්ඩායම පාකිස්තානයේ සංචාරයක නිතරව සිටියදී ඔවුන් ඉලක්ක කර ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවිය හැකි බවට විශ්වාසදායක බුද්ධි තොරතුරු ලැබී තිබුණි.
ඒ හේතුවෙන් දෙරට අතර පැවැත්වීමට නියමිතව තිබූ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය අවලංගු කර ඔවුන් යළි නවසීලන්තය බලා පිටත්ව ගියේය.
ඒ හේතුවෙන් මොහ්සින් නක්වි මෙලෙස පෞද්ගලිකව ක්‍රීඩාංගණයට ගොස් ශ්‍රි ලංකාව කණ්ඩායමේ සාමාජිකයින් හමුවී ඔවුන් ආරක්ෂිතව සිටින බවට සහතික වී තිබේ.
2009 මාර්තු මාසයේ දී ගඩාෆි ක්‍රීඩාංගණය අසලදී ශ්‍රී ලංකා කණ්ඩායමේ බස් රථයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස විදේශීය කණ්ඩායම් ආරක්ෂක හේතූන් මත පාකිස්තානයට පැමිණීම වසර 10කට ආසන්න කාලයක් ප්‍රතික්ෂේප කර තිබුණි.
ශ්‍රී ලංකාව රාවල්පින්ඩි හිදී එක්දින තරග 3කට ක්‍රීඩා කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව, පාකිස්තානය හා සිම්බාබ්වේ සහභාගිත්වයෙන් නොවැම්බර් 17 සිට තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට නියමිතව ඇත.
