දුම්රිය රියදුරු සහ නියාමක තනතුරු සඳහා සුදුසුකම් ලත් පිරිසකට පත්වීම් ලිපි

දුම්රිය රියදුරු සහ නියාමක තනතුරු සඳහා සුදුසුකම් ලත් පිරිසකට පත්වීම් ලිපි

November 15, 2025   10:07 pm

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ පුරප්පාඩුව පැවති දුම්රිය රියදුරු සහ නියාමක යන තනතුරු වෙනුවෙන් විවෘත තරග විභාගයන්ගෙන් සුදුසුකම් ලත් පිරිසක් වෙනුවෙන් පත්වීම් ලිපි ලබාදීම ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අතින් සිදු කෙරිණි. 

දුම්රිය දෙපාර්තමේන්තුවේ කලක පටන් පුරප්පාඩුව පැවති රියදුරු තනතුර වෙනුවෙන් නවක රියදුරන් 85ක් සහ නියාමකවරුන් 06ක් වෙනුවෙන් මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් පත්වීම් ලිපි ලබාදෙන ලදී.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ සහතිකවලට සීමාවූ උගත්කම්වලින් රටට හා ජනතාවට ප්‍රයෝජනයක් නොමැති බවය.

එමෙන්ම වර්තමානයේ දෛනිකව අවලංගු වන දුම්රිය ගමන්වාර ගණන වැඩි වී ඇති බවත් දුම්රියක් අවලංගු කිරීම සමාජයට වගේම පුද්ගලිකව ජනතාව විශාල පාඩුවක් වන බවත් එහිදී ඔහු අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා 

"වර්තමානයේ දුම්රිය ධාවනය ගැන බැලුවම දෛනිකව අවලංගු වන දුම්රිය ගමන්වාර විශාලයි. එක දුම්රියක් අවලංගු වනවා කියන්නේ රටට, සමාජයට වගේම පුද්ගලිකව ජනතාව විශාල පාඩුවක් සිදුවෙන්නේ. මේ හේතූන් නිසාම දුම්රිය සම්බන්ධයෙන් හොඳ ප්‍රතිරූපයක් නෙමෙයි ජනතාව තුළ ගොඩනැගිලා තිබෙන්නේ. දුම්රිය බාර ඇමති විදියට මටත් එවැනිම අපැහැදිළි ප්‍රතිරූපයක් තමයි සමාජය තුළ ගොඩනැගිලා ඇත්තේ. සහතිකවලට සීමාවූ උගත්කම් වලින් රටට, ජනතාවට ප්‍රයෝජනයක්  නැහැ. අපේ නම්බුනාම හෝ වැටුපෙන් ඔවුන්ට වැඩක් නැහැ. ජනතාවගේ අවශ්‍යතා මත පදනම් වී, ක්ෂණිකව ඒ වෙනුවෙන් ක්‍රියාත්මක විමයි ජනතාවට වැදගත්ම සාධකය වන්නේ. දුම්රිය සේවයේ ගුණාත්මකබව රැකගත හැකි ප්‍රධානම කොටස් අතරින් දෙකක් තමයි රියදුරන් සහ නියාමකවරුන්. ඒ තරම් වැදගත්වූ රැකියාවකට තමයි අද ඔබ මේ පිවිසෙන්නේ"