සංචාරක පැමිණීම මිලියන 2ක පසුකරයි - පැරිස් යුවළට උණුසුම් ප්‍රතිචාර
November 17, 2025 03:41 pm
මේ වසරේ ජනවාරි සිට මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 20 සීමාව අද (17) ඉක්මවා ගොස් තිබේ.
ඒ අද පස්වරු 1.30ට එංගලන්තයේ ලන්ඩන් නුවර සිට පැමිණි යූ.එල්- 504 දරන ශ්‍රීලන්කන් ගුවන් යානයෙන් පැමිණි යුවළත් සමග මෙරට සංචාරක සීමාව මෙලෙස ලක්ෂ 20 ඉක්මවා ගියේය.
එලෙස මෙරටට පැමිණි විදෙස් ජාතික රෆායෙල් කැරොන්ට සහ ඔහුගේ බිරිඳ වන ක්ලෙයා චාලට් යන අයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි පසු උණුසුම් පිළිගැනීමක් ද හිමිවුණි.
මොවුන් දෙදෙනා ප්‍රංශයේ පැරිස් නුවර පදිංචිකරුවන් වන අතර, සති දෙකක කාලයක් මෙරට රැඳී සිටීමට නියමිතය.
මෙම යුවළ පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ පාලන සහ මානව සම්පත් අනූෂා දමයන්ති මහත්මිය ඇතුළු එම කාර්යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් මෙන්ම සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ උසස් නිලධාරීන් පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.
