උඩරට දුම්රිය පීලිපැනීමට ලක්වූ ස්ථානය අවදානම් ස්ථානයක් බවට හඳුනාගෙන සිටි බව ඇමති බිමල් කියයි
November 19, 2025 12:14 pm
උඩරට මාර්ගයේ දුම්රිය පීලිපැනීම සිදුවූ ස්ථානය අවදානම් සහගත ස්ථානයක් බවට හඳුනාගෙන තිබූ බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (19) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ, උඩරට මාර්ගයේ දුම්රිය නඩත්තු කටයුතු හෙට (20) රාත්‍රිය වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වන බවය.
බදුල්ලේ සිට කොළඹ බලා ඊයේ (18) ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය ඉදල්ගස්හින්න සහ ඔහිය දුම්රිය ස්ථාන අතරදී මාර්ගයට පස් කන්දක් සමග ගල් පෙරළීමෙන් පීලිපැනීමට ලක්ව තිබුණි.
දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය කොළඹ කොටුව සිට නානුඔය දක්වා සහ බදුල්ල සිට බණ්ඩාරවෙල දක්වා පමණක් සීමා කර ඇති බවය.
බදුල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය ආරම්භ කළ මෙම දුම්රියේ එන්ජිමට විශාල ගල්සහිත පස් කන්දක් කඩාවැටී තිබුණේ ඊයේ රාත්‍රී 8.30ට පමණය.
ඒ, ඉදල්ගස්හින්න සහ ඔහිය දුම්රිය ස්ථාන අතර පිහිටි 33 වැනි උමං මාර්ගය ආසන්නයේදීය.
පස්කන්ද කඩාවැටීමෙන් ද්විත්ව එන්ජින් සහිත දුම්රියේ ඉදිරි එන්ජිමට දැඩි හානි සිදුව තිබුණි.
කෙසේ වෙතත් අනතුරුව පසුපස තිබූ එන්ජිම සහ මගී ප්‍රවාහන මැදිරි හපුතලේ දක්වා රැගෙන යාමට දුම්රිය බලධාරීන් පියවර ගෙන තිබුණි.
නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු ප්‍රකාශ කළේ, පීලි පැන ඇති දුම්රිය එන්ජිම පීලිගත කිරීම සඳහා නානුඔය දුම්රිය ස්ථානයේ ආපදා අංශයේ නිලධාරීන් සහ සේවකයින් යොමුකර ඇති බවය.
කෙසේ වෙතත්, මෙම පිලිපැනීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට නානුඔය දක්වාත්, බදුල්ල සිට බණ්ඩාරවෙල දක්වාත් සීමා කර තිබේ.
මේ හේතුවෙන් අද පෙරවරුවේ උඩරට මාර්ගයේ දුම්රිය ගමන් වාර කිහිපයක් සංශෝධනය කෙරුණු අතර, බදුල්ලේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ පොඩි මැණිකේ දුම්රිය නානුඔය දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කළේ පස්වරු 12.13ටය.
කෙසේ වෙතත් බදුල්ල, දෙමෝදර හා බණ්ඩාරවෙල අතර ධාවනය වන කැලිප්සෝ සංචාරක දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.
පීලි පැනීමට ලක්වූ දුම්රිය එන්ජිම යළි පීලිගත කිරීම මේ වනවිට සිදුකෙරමින් පවතින බව වාර්තා වෙයි.
