මත්ද්‍රව්‍ය සිද්ධියට අත්අඩංගුවට ගත් සජබ හිටපු මන්ත්‍රීගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

මත්ද්‍රව්‍ය සිද්ධියට අත්අඩංගුවට ගත් සජබ හිටපු මන්ත්‍රීගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

November 21, 2025   11:04 am

මත්ද්‍රව්‍ය චෝදනාවට අත්අඩංගුවට ගත් පන්නල ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගය හිටපු මන්ත්‍රීවරයාගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිය X ගිණුමේ සටහනක් තබමින් ඒ බව සඳහන් කර ඇත.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් අදාළ ක්‍රියාමාර්ග ගැනීම සඳහා වෙනම පරීක්ෂණයක් ආරම්භ කිරීමට ද පක්ෂය කටයුතු කර ඇති බව විපක්ෂනායකවරයාගේ X ගිණුමේ වැඩිදුරටත් සඳහන් වේ.

දකුණු මුහුදු තීරයේ දී ඊයේ (20) මත්ද්‍රව්‍ය සමග ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමේ සිද්ධියට අදාළව එක් අයෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලීසිය සඳහන් කළේ, පන්නල ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගය හිටපු මන්ත්‍රීවරයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවය.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අදාළ බහුදින ධීවර යාත්‍රාව සහ එහි සිටි ධීවරයින් 6දෙනා ඊයේ පස්වරුවේ තංගල්ල ධීවර වරාය වෙත රැගෙන එනු ලැබීය. 

ආරක්ෂක අංශ වෙත ලද තොරතුරකට අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් මෙම ධීවර යාත්‍රාව සොයාගනු ලැබීය.

එම යාත්‍රවේ තිබී මලු පහක පැකට් සියයක අසුරා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 115කට වැඩි ප්‍රමාණයක් සහ මලු 13ක පැකට් 200ක අසුරා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 261කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

මේ අතර මෙම මත්ද්‍රව්‍ය තොගය සමග තිබී රිවෝල් වරයක් සහ පිස්තෝලයක් හා මැගසින් දෙකක් නාවික හමුදා භාරයට ගෙනන ඇති බව සඳහන්ය.