බංග්ලාදේශය හමුවේ පරාජය වූ ඉන්දියාව තරගාවලියෙන් ඉවතට

බංග්ලාදේශය හමුවේ පරාජය වූ ඉන්දියාව තරගාවලියෙන් ඉවතට

November 21, 2025   07:27 pm

තරගාවලියේ පෙරළිකාරම කණ්ඩායම බවට පත්ව සිටි ඉන්දීය 'A'කණ්ඩායම පරාජය කර 'ආසියානු කුසලාන නැගීඑන තරු’ T20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට බංග්ලාදේශ 'A' කණ්ඩායම අද (21) සමත්විය.

තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ලෙස පැවති මෙම තරගයේ ජයග්‍රාහකයා තීරණය වූයේ සුපිරි පන්දුවාරයේදී වීම සුවිශේෂීය.

පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 20 තුළදී ලකුණු 194/6ක් රැස්කළ අතර, ඊට පිළිතුරු ලෙස ඉන්දියාවද පන්දුවාර 20 තුළදී ලකුණු 194/6ක් රැස්කිරීමට සමත් විය.

මෙහිදී ඉන්දියාවට අවසන් පන්දුවේදී ලකුණු 4ක් අවශ්‍යව තිබූ අතර, බංග්ලාදේශ පන්දු රකින්නන්ගේ දුර්වල පන්දු රැකීම හමුවේ ලකුණු 3ක් ලබාගනිමින් ඔවුන් තරගය සම කළේය.

කෙසේ නමුත් සුපිරි පන්දුවාරයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය පිතිකරුවන් දෙදෙනාම පළමු පන්දු දෙකේදීම දවාගැනීමට බංග්ලාදේශයට හැකිවිය.

ඒ අනුව බංග්ලාදේශයට ජයග්‍රහණය සඳහා එක් ලකුණක් අවශ්‍ය වුවද, ඔවුන්ගේද පළමු කඩුල්ල පළමු පන්දුවේදීම දැවී ගියේය.

කෙසේ නමුත් දෙවන පන්දුව වයිඩ් පන්දුවක් වූයෙන් තරගය ජය බංග්ලාදේශය සතු වූ අතර, ඒ සමග ඔවුන් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේය.