මහනුවර - මහියංගනය මාර්ගයේ කොටසක් තාවකාලිකව වැසෙයි

මහනුවර - මහියංගනය මාර්ගයේ කොටසක් තාවකාලිකව වැසෙයි

November 27, 2025   12:54 pm

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මහනුවර මහියංගනය මාර්ගය මැද මහනුවර සිට හසලක දක්වා කොටස හෙට (28) උදෑසන 07 තෙක් වසා දැමීමට මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුව තීරණය කොට තිබේ.

එම මාර්ග කොටස තුළ දැඩි ආපදා සිදුවීම සහ විටින් විට සිදුවන පස් සහ ගල් පෙරළීම් හේතුවෙන් මෙම තීරණය ගත් බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සඳහන් කරයි.

මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ වැඩිම හානි සිදුවී ඇති බවත් මහවෙල ග්‍රාම නිලධාරී වසමේ මරණ දෙකක් සහ ගංගොඩ ග්‍රාම නිලධාරී වසමේ මරණ තුනක් මේ වන විට වාර්තා වී ඇතැයි දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.

මේ වන විට අවතැන් කඳවුරු හතක පවුල් සියයක පමණ ප්‍රමාණයක් රැඳවීමට පියවර ගෙන ඇති බවත් අතුරුදන්වුවත් මුදාගැනීමේ කටයුතු සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව, පොලීසිය සහ ගම්වාසින් එක්ව මේවන විටත් යුහුසුළුව කටයුතු කරන බව දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මැදිහත්වීම මත මහනුවර දිස්ත්‍රික්කයේ අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අනුමැතියෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ආපදා කළමනාකරණය සඳහා අවශ්‍ය සියලු ප්‍රතිපාදන මේ වන විටත් ගෙන ඇතැයි ද දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා තවදුරටත් සඳහන් කළේය.