ගංවතුරින් හානියට පත් මහනුවර අධිකරණයේ පහසුකම් කඩිනමින් ලබාදීමට පියවර
December 8, 2025 03:44 pm
හදිසි ආපදා තත්ත්වයෙන් ඇතිවු ගංවතුරින් බලපෑමට ලක් වු මහනුවර අධිකරණයේ සියලු පහසුකම් කඩිනමින් ලබාදීමට තීරණය කර තිබේ.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ මහනුවර අධිකරණ සංකීර්ණයේදී පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව එම තීරණය ගෙන ඇත.
ගංවතුර තත්ත්වය හේතුවෙන් අධිකරණයේ විදුලි සම්බන්ධතාවය සම්පුර්ණයෙන් ඇණහිට ඇති බැවින් ප්‍රධාන විදුලි පැනලය යථාතත්ත්වයට පත් කරන තෙක් දින දෙකක් තුළ තාවකාලිකව විදුලිබලය ලබාදීමට කටයුතු කරන ලෙස එහිදී ප්‍රකාශ කර ඇත.
තවද, අධිකරණයේ බිම්මහලේ සියලු ලේඛනාගාර ගංවතුරින් යට වී ඇති අතර, ජලගැල්මට හසුවු එම නඩු වාර්තා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි කඩිනමින් යථා තත්ත්වයට පත්කිරීම සම්බන්ධයෙන් හා බ්ම්මහලේ ස්ථාපිත ලේඛනාගාර සහ අධිකරණයේ පුස්තකාලය ඉහළ මහළක ස්ථාපිත කිරීමට මෙහිදී අවධානය යොමු කර ඇත.
අධිකරණ පරිශ්‍රය පවිත්‍ර කිරීමේ කටයුතු සඳහා ප්‍රමාණවත් සේවකයින් නොමැති බැවින් හදිසි පිරිසිදු කිරීමේ සේවා වෙනුවෙන් කොන්ත්‍රාත් පදනම මත සේවකයින් පනස් දෙනෙකු මාස දෙකක කාලයකට බඳවා ගැනීමටත්, මෙහිදී සාකච්ඡා කර ඇත.
ජල ගැල්මෙන් හානියට පත්ව ඇති කාර්යාල උපකරණ, පරිගණක හදිසි මිලදීගැනීමේ පදනම මත ලබාගැනීමට හා එම උපකරණ ලබා ගැනීම සඳහා ආපදා හේතුවෙන් ලබා දෙන විදේශ ආධාරවලින් ලබා ගැනීම පිළිබඳ මෙහිදී සාකච්ඡා විය.
අධිකරණ පරිශ්‍රය පවිත්‍ර කිරීමේ කටයුතු සඳහා ස්වේච්ඡා කණ්ඩායම්වල සහාය ලබා ගැනීම පිළිබඳවද සාකච්ඡා වී ඇති බව සඳහන් වෙයි.
