රටම එකට ජාතික මෙහෙයුමෙන්  840දෙනෙකු අත්අඩංගුවට

රටම එකට ජාතික මෙහෙයුමෙන් 840දෙනෙකු අත්අඩංගුවට

December 28, 2025   02:49 pm

විෂ මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීමේ ‘රටම එකට‘ ජාතික මෙහෙයුම යටතේ දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් ගත වූ දිනයේදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 840දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදි හෙරොයින් ග්‍රෑම් 378ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 417ක් සහ හෂීෂ් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගත් බව පොලිසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 11දෙනෙකු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා රැඳවුම් නියෝග ලබාගෙන ඇති බව වර්තා වේ.

එමෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ බවට හඳුනාගත් සැකකරුවන් 06දෙනෙකු පුනරුත්ථාපනය සදහා යොමු කිරීමට පියවර ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසීය.

මේ අතර පොලිසිය විසින් දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම යටතේ විවිධ අපරාධ සිද්ධීන්වලට සෘජුව සම්බන්ධ පුද්ගලයින් 22දෙනෙකු ඊයේ දිනයේ අත්අඩංගුවට ගෙන ඇත.

එම මෙහෙයුමේදී පුද්ගලයින් 28,879දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

එමෙන්ම විවෘත වරෙන්තුකරුවන් 126දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර බීමත්ව සහ අපරික්ෂාකාරී රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 426දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.