ඉන්දීය දැවැන්ත ඉලක්කය හමුවේ ශ්‍රී ලංකාවට සටන්කාමී පරාජයක්

ඉන්දීය දැවැන්ත ඉලක්කය හමුවේ ශ්‍රී ලංකාවට සටන්කාමී පරාජයක්

December 28, 2025   10:32 pm

සත්කාරක ඉන්දීය කණ්ඩායම හමුවේ අද (28) පැවති 4වන විස්සයි20 ක්‍රිකට් තරගයෙන්ද පරාජයවීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිදුවිය.

කෙසේ නමුත් පෙර තරගවලදී දුර්වල ක්‍රීඩා විලාශයක නිරත වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ දක්ෂාවල සැලකිය යුතු වෙනසක් මෙම තරගයේදී දැකගැනීමට හැකිවිය.

තිරුවානන්දපුරම්හිදී පැවති මෙම තරගයේ ඉන්දීය කණ්ඩායමෙන් හිමිවූ ලකුණු 222ක අසීරු ඉලක්කයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව පන්දුවාර 20 තුළදී කඩුලු 6ක් දැවී ලකුණු 191ක් රැස්කිරීමට සමත් විය.

මෙය ජාත්‍යන්තර විස්සයි20 තරග බිමේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක්විය.

ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රහාරාත්මක ආරම්භයක් ලබාදුන් හසිනි පෙරේරා පන්දු 20කින් ලකුණු 33ක් හා චමරි අතපත්තු පන්දු 37කින් ලකුණු 52ක් රැස්කිරීමට සමත්වූහ.

ඊට අමතරව හර්ෂිතා සමරවික්‍රම පන්දු 13කින් ලකුණු 20ක්ද, නිලක්ෂිකා සිල්වා පන්දු 11කින් ලකුණු 23ක්ද රැස්කළහ.

තරග 5කින් යුත් තරගාවලිය තරග 4-0ක් ලෙස ඉන්දීය කණ්ඩායම මේ වනවිට පෙරමුණගෙන සිටියි.