2026 නව වසරට ජනපතිගෙන් සුභාශිංසන

2026 නව වසරට ජනපතිගෙන් සුභාශිංසන

January 1, 2026   06:52 am

2026 නව වසර පා තබන්නේ රටක් ලෙස එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ රට යළි ගොඩනැගීමේ දැවැන්ත කාර්යභාරය දෙවුර දරාගත් ජාතියක් ලෙස බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

උදා වූ නව වසර වෙනුවෙන් සුභාශිංසන පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ අභියෝග රැසක් මධ්‍යයේ වුව ද ගත වු වසර ජාතික අභිලාශ මත පදනම් වූ තිරසාර සංවර්ධනයේ අඩිතාලම සකස් කළ වසරක් බවය.

1977වසරෙන් පසු අඩුම අයවැය හිඟය වාර්තා කිරීම, 2007 වසරට පසු මෙරට වැඩිම රාජ්‍ය ආදායම වාර්තා කිරීම, ඉතිහාසයේ ප්‍රථම වතාවට ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් තබා ගැනිම, භාණ්ඩ සහ සේවා අපනයන ආදායම ඩොලර් බිලියන 17 ඉක්මවීම, සහ මෑත කාලයේ වාර්තා වූ වැඩිම සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණීම 2025 වසරේ දී ලබාගත් සුවිශේෂී ආර්ථික ජයග්‍රහණ බව ජනාධිපතිවරයා පවසයි.

අභියෝග නිවැරදිව අවබෝධ කරගනිමින් රට යළි ගොඩනැගීමේ වැඩපිළිවෙල සමග නොසැලෙන අධිෂ්ඨානයෙන් හා විශ්වාසයෙන් යුතුව සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ගැනීමට සියල්ලන්ට ආරාධනා කරමින් උදා වූ නව වසර සියලු යහ පැතුම් ඉටුවන ජයග්‍රාහී වසරක් වේවා යි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය සුභාසිංශන පණිවිඩය මගින් වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර ගෙවුණු වසරේ අප මුහුණදුන් සියලු අභියෝගයන් ශක්තියක් බවට පත් කරගනිමින් නව ජවයකින් සහ අපේක්ෂාවෙන් යුතුව 2026 වසර වෙත පියවර තැබීමට ඇරයුම් කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි.

2026 නව වසර වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ඇය පෙන්වා දෙන්නේ ජනතාවාදී රජයක් ලෙස තීරණාත්මක ඉදිරිගාමී පියවර රැසක් තැබීමට හැකි වූ වසරක් ලෙස 2025 වසර පිළිබඳව සතුටට පත්විය හැකි බවයි.

නව දේශපාලන සංස්කෘතියක් මත රාජ්‍ය යහපාලනයේ විනිවිදභාවය තහවුරු කිරීමටත්, දූෂණයෙන් තොර රාජ්‍ය සේවාවක් උදෙසා වන අඩිතාලම සැකසීමටත් හැකි වූ බව අග්‍රාමාත්‍යවරිය සිය සුබපැතුම් පණිවිඩයෙන් දැනුම් දී තිබේ.