ගැඹුරු පීඩන අවපාතය ලංකාවට ඇතුළු වන්නේ අද නෙමෙයි හෙට

ගැඹුරු පීඩන අවපාතය ලංකාවට ඇතුළු වන්නේ අද නෙමෙයි හෙට

January 9, 2026   04:31 pm

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය, හෙට (10) සවස් කාලයේ දී ත්‍රිකුණාමලය සහ යාපනය අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝදුරට ඉඩ ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අද (09) සවස 4 කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරි පැය 36 සඳහා නිකුත් කළ කාලගුණ නිවේදනයට අනුව උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව සඳහන්ය.

ගැඹුරු පීඩන අවපාතය අද සවස 1 පමණ වනවිට මඩකලපුවේ සිට කිලෝමීටර් 160ක් පමණ නැගෙනහිර දෙසින් පිහිටා තිබුණි.

මේ අතර, දිවයිනේ උතුරු අර්ධයේ අහස වලාකුළින් බරව පවතින අතර, උතුරු පළාතෙත් අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. 

වයඹ, මධ්‍යම, සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර,සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 50-60 දක්වා වන ඉතා තද සුළං සමඟ විටින් විට හමන පැ.කි.මී. 70 දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකිය.

වයඹ, මධ්‍යම, ඌව සහ බස්නාහිර පළාත්වල විටින් විට හමන පැ.කි.මී. 40-50 දක්වා වන තරමක තද සුළං ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස  කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.