බංග්ලාදේශයේ ලෝක කුසලාන ගමන වැට උඩ
January 11, 2026 05:20 pm
එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඉන්දියාවේ ක්‍රීඩාංගණවල ක්‍රීඩා කිරීමට නොහැකි බව පවසමින් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් (ICC) කළ ඉල්ලීමට මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව වාර්තා වේ.
ICCයේ අවසන් තීරණය ඊයේ (10) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුණි.
බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ (BCB) සභාපති අමිනුල් ඉස්ලාම් බුල්බුල් පවසා ඇත්තේ, සිය ලිපියට ICCය මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් නිකුත් කර නොමැති බවය.
තමන් ලෝක කුසලාන තරග ඉන්දියාවේ ක්‍රීඩා කිරීමට අකමැති හේතු පැහැදිලිව සඳහන්කර ඇති බවත්, ඒ හේතුවෙන් ඉන්දියාවේ තරග ක්‍රීඩා නොකරන බවට වන සිය ස්ථාවරයේ ද වෙනසක් නොමැති බවත් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පවසා තිබේ.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ පෙළඹවීම මත එළැඹෙන IPL තරගාවලියෙන් මුස්තාෆිසුර් රහ්මාන් ඉවත්කිරීමට ගත් තීරණය හේතුවෙන් ආරක්ෂක ගැටළු මුල්කර ගනිමින් බංග්ලාදේශය, ඉන්දියාවේ තරග ක්‍රීඩාකිරීමට මේ වනවිට අකමැත්ත ප්‍රකාශකර තිබේ.
ඔවුන් ICCයෙන් ඉල්ලා ඇත්තේ පෙබරවාරි 7 වනදා ආරම්භවීමට නියමිත මෙම තරගාවලියේ තමන් ඉන්දියාවේ ක්‍රීඩාකිරීමට නියමිත තරග ශ්‍රී ලංකාවට රැගෙන යන ලෙසය.
ලිටන් කුමාර් දාස්ගේ නායකත්වයෙන් යුත් බංග්ලාදේශ කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ දී 'C' කාණ්ඩයෙන් ක්‍රීඩාකිරීමට නියමිතය.
එහිදී ඔවුන් එංගලන්තය, බ.ඉ. කොදෙව්, ඉතාලිය සහ නේපාලය සමග ක්‍රීඩාකරන අතර, එම සියලුම තරග ඉන්දියාවේ දී පමණක් පැවැත්වේ.
ඉන් තරග 3ක් කොල්කටාහිදීද, එක් තරගයක් මුම්බායිහිදීද පැවැත්වේ.
