ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පත ගැන අදහස් විමසයි
January 12, 2026 02:10 pm
ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් ප්‍රජා මූල්‍ය සමිති නියෝජිතයින්ගෙන් අදහස් විමසීමක් සිදු කරන ලදී.
ඒ, එම කාරක සභාව එහි සභාපති නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ සහභාගීත්වයෙන් පසුගිය 07 වනදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
මෙහිදී අදහස් දක්වමින් ප්‍රජා මූල්‍ය සමිති නියෝජිතයින්, ප්‍රජා මූල්‍ය සමිති මගින් සිදුකරනු ලබන කාර්යභාරය පැහැදිලි කරමින් එය ක්ෂුද්‍ර මූල්‍ය හා ණය ලබාදෙන වාණිජ ආයතනවලින් වෙනස් වන ආකාරය පිළිබඳව කාරක සභාවට කරුණු ඉදිරිපත් කළහ.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල කාන්තාවන් ඇතුළු ජනතාවගේ ආර්ථික නගාසිටුවීම සඳහා ප්‍රජා මූල්‍ය සමිති සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන බව ඔවුන් පෙන්වා දුන්හ.
ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත මගින් ක්ෂුද්‍ර මූල්‍ය හා ණය ලබාදෙන සියලු ආයතන එකම නියාමන අධිකාරියක් යටතට පත් කිරීම, ප්‍රජා මූල්‍ය සමිති මගින් සිදුකරනු ලබන මෙම සමාජමය කාර්යභාරයට බලපෑම් ඇති කළ හැකි බවද එම නියෝජිතයින් අවධාරණය කළහ.
මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරිය සඳහන් කළේ, පවතින පනත් කෙටුම්පත තුළ “ප්‍රජා මූල්‍ය ආයතන” යන්න පිළිබඳව වෙනම අර්ථ නිරූපණයක් සිදු කර නොමැති බැවින්, පොදු නිර්ණායක යටතේ එම ආයතනද නියාමනයට ලක් කිරීම ඔවුන්ගේ මූලික අරමුණුවලට බාධාවක් විය හැකි බවය.
ඒ අනුව ප්‍රජා මූල්‍ය සමිති නියෝජිතයින්, තම සමිතිද නියාමනයකට යටත් කිරීමේ අවශ්‍යතාවය පිළිගනිමින්, එය ඔවුන්ගේ මූලික අරමුණුවලට හානියක් නොවන අයුරින් පනත් කෙටුම්පත සංශෝධනය කිරීමේ වැදගත්කම කාරක සභාවට යෝජනා කළහ.
මෙම කරුණු සලකා බැලීමෙන් පසු, “ප්‍රජා මූල්‍ය ආයතන” යන්න නිසි ආකාරයෙන් නිර්වචනය කර ඔවුන්ගේ මූලික අරමුණු ආරක්ෂා වන පරිදි පනත් කෙටුම්පත සංශෝධනය කිරීමට යෝජනා කරන බව කාරක සභා සභාපතිවරිය ප්‍රකාශ කළාය.
ඒ අනුව සංශෝධනවලට යටත්ව ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත සඳහා කාරක සභාවේ අනුමතිය හිමි වූ අතර, මෙම පනත් කෙටුම්පත රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ විෂය පථයට අදාළ කරුණු අන්තර්ගත කර ඇති බැවින් එම කාරක සභාවේ සලකා බැලීම සඳහා යොමු කිරීමටද තීරණය කරන ලදී.
මෙම අවස්ථාව සඳහා කාරක සභා සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, තිළිණ සමරකෝන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ යන මහත්ම මහත්මීන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
