අධ්‍යාපන වෘත්තිය සමිති කිහිපයක් අද ජනපති හමුවෙයි

අධ්‍යාපන වෘත්තිය සමිති කිහිපයක් අද ජනපති හමුවෙයි

January 13, 2026   12:52 pm

ජනාධිපතිවරයා සහ අධ්‍යාපන වෘත්තීය සමිති කිහිපයක් අතර සාකච්ඡාවක් අද (13) දිනයේ පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි. 

එය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ කරුණු පිළිබඳව අවධානය යොමු කරමින් සංවිධානය කර ඇති බව සඳහන්ය.

කෙසේවෙතත්, ඇතැම් අධ්‍යාපන වෘත්තීය සමිති චෝදනා කරන්නේ රජයට හිතවත් සංගම් කිහිපයකට පමණක් මෙම සාකච්ඡාවට ආරාධනා කර ඇති බවය.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා ස්වාධීන ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් චන්දිමාල් විජේරත්න මහතා,

"ආණ්ඩුව කියන ඕනෑම දෙයකට කැමතිවෙන පිරිසකුත් ඉන්නවා. ඒ කණ්ඩායම සමග පමණයි ආණ්ඩුව සාකච්ඡා පවත්වන්නේ. අදත් සාකච්ඡාවක් තියෙනවා. ඒ සාකච්ඡාවට කැඳවලා තියෙන්නේ මේ ව්‍යාජ ප්‍රතිසංස්කරණ විරෝධීන් පමණයි."

මේ අතර, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් හෝ ඒ සඳහා මොඩියුල සකස් කිරීමේදී ගුරු උපදේශවරුන්ගේ දායකත්වය මෙවර නොසලකා හැර ඇති බව සමස්ත ලංකා ගුරු උපදේශක සමිතිය චෝදනා කර ඇත.

එසේම, වත්මන් ආණ්ඩුව විසින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව මුද්‍රණය කර ඇති මොඩියුලවල ළමයින්ට නුසුදුසු වෙබ් අඩවි සඳහන් වීමත්, විවිධ දෝෂ පවතින බවත් පසුගිය දින කිහිපය පුරා පාර්ශ්ව රැසකින් දැඩි විරෝධතා මතුව ඇත.

ඒ, එම ප්‍රතිසංස්කරණ හකුලාගෙන අදාළ පාර්ශ්වයන් සමග නිසි සාකච්ඡා පවත්වා විධිමත් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට යා යුතු බව පවසමින්ය.