ගෙවී ගිය වසරේ රට විරුවන්ගේ පවුල්වල සුබසාධනයට බිලියනයකට අධික ප්රතිලාභ
January 13, 2026 01:28 pm
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් 2025 වසර තුළ විදෙස් ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් හා ඔවුන්ගේ පවුල්වල සුබසාධනය සඳහා රුපියල් බිලියනයකට අධික ප්රතිලාභ ලබාදී ඇති බව වාර්තා වෙයි.
2025 වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලය තුළ විගමණික ශ්‍රමිකයින් 326,246 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 964.30 ක ආධාර කාර්යාංශය මගින් ලබාදී තිබේ.
එමෙන්ම රැකියා සඳහා විදේශ ගතවන ශ්‍රමිකයින්ට නොමිලේ ලබාදෙන රක්ෂණාවරණය වෙනුවෙන් ශ්‍රමිකයින් 318,209 දෙනෙකු සඳහා රුපියල් මිලියන 397 ක මුදලක් 2025 වසරේදී කාර්යාංශය විසින් ගෙවා ඇත.
විදේශ ගත ශ්‍රමිකයින්ගේ පාසල් අධ්‍යාපනය ලබන දරුවන් 1,628 දෙනෙකුට ශිෂ්‍යාධාර වශයෙන් රුපියල් මිලියන 50.88ක් ගෙවා ඇති අතර, තවත් දරුවන් 4,304 දෙනෙකු සඳහා පාසල් උපකරණ ලබාදීමට රුපියල් මිලියන 50.25ක් වැය කර ඇත.
මීට අමතරව විදේශ රැකියාව අතරතුර සිදුවන මරණ හා රෝගාබාධ, විදේශ රැකියාව අවසන් කර යළි දිවයිනට පැමිණීමෙන් පසු ස්වයං රැකියාවක් ආරම්භ කිරීම, පවුල්වල සාමාජිකයින්ට සෞඛ්‍යාධාර, බහුවිධ ණය යෝජනා ක්‍රම සහ සේවක සුභසාධක අරමුදල මගින් ගෙවීම් කිරීම වැනි කටයුතු සඳහාද කාර්යාංශය මගින් මුදල් වැය කර තිබේ.
එසේම විදේශ රැකියා වංචාකරුවන්ට හසුවී කාර්යාංශයට පැමිණිලි කළ පුද්ගලයින් වෙනුවෙන් නඩු පවරා රුපියල් මිලියන 374කට අධික මුදලක් යළි අයකර දීමටද පියවර ගෙන ඇත.
විදේශ රැකියා ක්ෂේත්රය සම්බන්ධයෙන් මහජනතාවට අවශ්‍ය තොරතුරු ලබාදීම සඳහා ස්ථාපිත කර ඇති 24 පැය තොරතුරු මධ්‍යස්ථානය නව පහසුකම් සමඟ නවීකරණය කර ඇති අතර, එමඟින් වඩාත් කාර්යක්ෂම හා විශ්වාසදායී සේවාවක් සැපයීමට හැකිවී තිබේ.
මේ අතර, වසර 40ක විදේශ රැකියා ඉතිහාසය තුළ වැඩිම විදේශ ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය වසරේදී මෙරටට ලැබී ඇති අතර, එය අමෙරිකානු ඩොලර් බිලියන 8.07කි.
එය රුපියල් බිලියන 2432කට සමාන වන අතර, 2024 වර්ෂය හා සැසඳීමේදී සියයට 22.8ක වර්ධනයක් සටහන් කරයි.
වත්මන් රජයේ ප්‍රතිපත්තිමය තීරණ අනුව ගුණාත්මක පුහුණුව ලත් ශ්‍රමිකයින් විදේශගත කිරීමට කාර්යාංශය පියවර රැසක් ගෙන ඇති අතර, ඒ අනුව පසුගිය වසරේදී ශ්‍රී ලාංකිකයන් 311,139 දෙනෙකු රැකියා සඳහා විදේශගත වී ඇත.
