මාවනැල්ල සහ මහනුවරට මත්ද්‍රව්‍ය බෙදූ සමීර් සියල්ල හෙළි කරයි
January 14, 2026 06:06 pm
මාවනැල්ලට හා මහනුවරට මත්ද්‍රව්‍ය බෙදාහරින ප්‍රධානතම ජාවාරම්කරුවකු බව කියන 'සමීර්' නැමැත්තා සහ ඔහුගේ සහෝදරයා බැංකු ගිණුමක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මාවනැල්ලේ පිහිටි පෞද්ගලික බැංකු ශාඛාවකින් සැකසහිත බැංකු ගිණුමක් සම්බන්ධයෙන් මහබැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයට ලැබුණු තොරතුරක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකක අංක 01 මගින් විමර්ශනයක් ආරම්භ කර ඇත.
එහිදී හෙළි වී ඇත්තේ අදාළ ගිණුමේ 2020 වසරේ රුපියල් මිලියන 8.2ක් හා 2021 වසරේ රුපියල් මිලියන 5.2ක මුදලක් සංසරණය වී ඇති බවය.
ගිණුමේ හිමිකරු වූ මාවනැල්ලේ පදිංචි මොහොමඩ් ආසික් නැමැත්තා අවස්ථා රැසකදී මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූවෙක් බව පොලීසිය පවසයි.
ඔහුගේ ගිණුමට මුදල් බැරකළ පුද්ගලයන් අතරින් බහුතරයක් මේවන විට මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින අය බවද අනාවරණ වී ඇත.
එම රැඳවූවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණ වී තිබුණේ මාවනැල්ලේ 'සමීර්' නමැත්තෙකුට ලබාදීම සඳහා අදාළ මුදල් ඔහුගේ සහෝදරයා වන මොහොමඩ් ආසික්ට අයත් බැංකු ගිණුමට බැර කළ බවය.
මාවනැල්ල හා මහනුවර ප්‍රදේශවලට මත්ද්‍රව්‍ය බෙදාහරින ප්‍රධානතම ජාවාරම්කරු බව කියන 'සමීර්' නමැත්තා සහ ගිණුමේ හිමිකරු වන ඔහුගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී ඔවුන් පවසා ඇත්තේ කොළඹින් මත්ද්‍රව්‍ය රැගෙන ගොස් අදාළ ප්‍රදේශවලට බෙදාහරින බවත් මත්ද්‍රව්‍යවලින් උපයාගත් මුදල් අදාළ ගිණුමට බැරකළ බවත්ය.
සැකකරුවන් දෙදෙනා අද (14) පස්වරුවේ මාවනැල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
