මුහුදු සීමා කඩන ධීවරයින්ට වැඩ වරදියි

මුහුදු සීමා කඩන ධීවරයින්ට වැඩ වරදියි

January 14, 2026   08:24 pm

විදෙස් මුහුදු සීමා නීතිවිරෝධී ලෙස උල්ලංඝනය කරන හෝ යාත්‍රා නිරීක්ෂණ පද්ධතිය හිතාමතා ක්‍රියා විරහිත කරන බවට වරදකරු වන ඕනෑම යාත්‍රාවක නියමුවාට සහ සමස්ත කාර්ය මණ්ඩලයට එළැඹෙන පෙබරවාරි 01 වැනි දින සිට පවතින නීති රෙගුලාසී යටතේ ලබා දිය හැකි මාස 6ක දැඩි ධීවර තහනම ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි  ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, සුසන්ත කහවත්ත මහතා පවසයි.

ඒ මහතා පැවසුවේ මෙම තීරණාත්මක පියවර ගනු ලැබුවේ නීතිවිරෝධී, වාර්තා ගත නොවූ සහ අක්‍රමවත් ධීවර කටයුතු මැඩලීම සඳහා ඉලක්ක කර කළ බවය.

මේ තුළින් මෙරට සමුද්‍ර සම්පත්වලට, ජාතික ආරක්ෂාවට සහ ඩොලර් මිලියන ගණනක මුහුදු ආහාර අපනයන වෙළෙඳපොළට එල්ලවී ඇති තර්ජන අවම කිරීම අපේක්ෂා කරන බවද ඒ මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකාව ඉහළ ගුණාත්මකභාවයකින් යුතු නැවුම් මසුන් සඳහා ගෝලීය කීර්තියක් දිනාගෙන ඇති බවත් මෙම කර්මාන්තය මෙරට වෙරළබ ප්‍රජාවගේ ජීවනාලිය වන බවත් පෙන්වා දුන් ඒ මහතා පැවසුවේ ජාතික සුරක්ෂිතතාවයේද ප්‍රධාන කුළුණක් වන බවය.

නමුත් ඉතා සුළු පිරිසකගේ නීති විරෝධී ක්‍රියාකාරකම් හේතුවෙන් අපනයන තහනම් පැනවීම වැනි බරපතළ ජාත්‍යන්තර ප්‍රතිවිපාකවලට මුහුණ දීමේ අවධානමක් පවතින බවත් මින් පෙරද මෙවැනි තර්ජනයකට ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවූ බවත් නැවත වතාවක් එය සිදුවීමට ඉඩ ලබා දිය නොහැකි බවත් ඒ මහතා සඳහන් කළේය.

ඒ අනුව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ලෙස සියලුම යාත්‍රා නියමුවන්ගේ සහ කාර්ය මණ්ඩලවලින් තම මුහුදු ගමන පුරාවට යාත්‍රා නිරීක්ෂණ පද්ධතිය සක්‍රීයව තබා ගන්නා ලෙසත්, සමුද්‍රීය සීමාවන්ට දැඩි ලෙස ගරු කරන ලෙසත් තමන් ඉල්ලා සිටින බවත් පැවසූ ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ ජාත්‍යන්තර බැඳීම් තහවුරු කිරීමට සහ තිරසාර ධීවර ක්ෂේත්‍රයක් මත යැපෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ජීවනෝපාය සුරක්ෂිත කිරීමට මෙම නීති දැඩිව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවය