මෙවර T20 ලෝක කුසලානයේ නිල ගුවන්විදුලි විකාශන සහකරු FM දෙරණ
January 14, 2026 09:05 pm
2026 පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ මෙරට නිල ගුවන්විදුලි සහකරු ලෙස කටයුතු කිරීමේ අවස්ථාව FM දෙරණට අද (14) හිමිවිය.
FM දෙරණ ලද මෙම මහඟු අවස්ථාව සිය අභිමානවත් ගමන්මගෙහි තවත් එක් තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමකි.
මේ සම්බන්ධව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව අද (14) කොළඹ ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ Sea Festival ශාලාවේදී පැවැත්විණි.
පසුගිය 2011 වසරේ පැවැති ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල විකාශන අයිතිය ලබා ගනිමින් සජීවි ක්‍රිකට් විකාශනය පෞද්ගලික ගුවන්විදුලි ක්ෂේත්රය වෙත හඳුන්වාදුන් මෙරට පෞද්ගලික ගුවන්විදුලි නාලිකාව බවට FM දෙරණ පත්විය.
එදා සිට මේ දක්වා මෙරට ක්‍රිකට් විකාශන ක්ෂේත්රය වඩාත් පුළුල් තරගකාරී සහ ක්‍රීඩා ලෝලීන් කේන්ද්‍ර කරගත් අත්දැකීමක් බවට පත් කිරීමට FM දෙරණ සුවිශේෂී දායකත්වයක් ලබා දී තිබේ.
මෙවර තරගාවලියේදී මුළු දිවයිනම ආවරණය කරමින් තරගාවලියේ සෑම මොහොතක්ම සජීවි අත්දැකීම් සහ ලාංකීය ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ට ආවේනික වූ ඒ සුවිශේෂී ජවය FM දෙරණ ඔස්සේ ඔබ සමීපයට රැගෙන ඒමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබේ.
2026 ICC විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට අයත් තරග 55ම FM 92.2 සහ 92.4 යන සංඛ්‍යාත ඔස්සේ දිවයින පුරා සජීවීව විකාශනය කෙරෙනු ඇත.
මෙහි විශේෂත්වය වනුයේ මෙරට වඩාත් ගෞරවාදරයට පත් ප්‍රවීණ සහ අත්දැකීම් බහුල ක්‍රිකට් විචාරක මණ්ඩලයක් විසින් ක්‍රීඩා පිටිය තුළ ක්‍රියාවලිය පමණක් නොව, ඒ පිටුපස ඇති උද්යෝගය, ආඩම්බරය සහ තියුණු තරගකාරීත්වය ද ක්‍රීඩා ලෝලීන් වෙත සමීප කිරීමට කටයුතු කිරීමය.
සජීවී විස්තර විචාරයට අමතරව, හිටපු ප්‍රවීණ ක්‍රීඩකයින් සහ විශේෂඥ පුහුණුකරුවන්ගේ සහභාගීත්වයෙන් යුත් ගුවන්විදුලි සහ ඩිජිටල් වැඩසටහන් රැසක් ද ක්‍රියාත්මක කිරීමට FM දෙරණ මේ වන විට සැලසුම් කර තිබේ.
මෙම මාධ්‍ය හමුව සඳහා දෙරණ මාධ්‍ය ජාලයේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය මෙන්ම ක්‍රීඩා ක්ෂේත්රයේ ප්‍රවීණයන් රැසක් එක්ව සිටියහ.
ඒ අතර දෙරණ මාධ්‍ය ජාලයේ විධායක අධ්යක්ෂ/ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මාධව මඩවල මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් බන්දුල දිසානායක මහතා, ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක බන්දුල සමන් වතුරේගම මහතා, FM දෙරණ වැඩසටහන් සාමාන්‍යාධිකාරී බණ්ඩාර විජේරත්න මහතා සහ FM දෙරණ අලෙවි සාමාන්‍යාධිකාරී රොෂාන් ප්‍රනාන්දු මහතා ද විය.
