එංගලන්තයේදී ඝාතනයට ලක් වූ ලංකාවේ නිරෝධාගේ ඝාතකයා වරද පිළිගනියි

එංගලන්තයේදී ඝාතනයට ලක් වූ ලංකාවේ නිරෝධාගේ ඝාතකයා වරද පිළිගනියි

January 15, 2026   11:50 am

තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් එංගලන්තයේදී මියගිය ශ්‍රී ලාංකික කාන්තාවක් වන 32 හැවිරිදි නිරෝධා නිවුන්හැල්ලගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් එරට අත්අඩංගුවේ සිටි සැකකරුවෙක් වු තිසර වේරගලගේ නම් ශ්‍රී ලාංකිකයේකු වරද පිළිගෙන තිබේ.

පසුගිය වසරේ අගෝස්තු 21 වනදා එංගලන්තයේ වේල්සයේ කාඩිෆ් නගරයේ රිවර්සයිඩ් ප්‍රදේශයේ නවතා තිබූ රථවාහන දෙකක් මධ්‍යයේ තිබී බරපතළ කැපුම් තුවාල සහිතව නිරෝධාගේ සිරුර සොයාගෙන තිබුණි.

එම අවස්ථාවේදී ඇයගේ සිරුර හමු වූ ස්ථානයට ආසන්න ප්‍රදේශයක සිටි තිසර වේරගලගේ එරට පොලීසි විසින් අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය පවසයි.

එහිදී පොලීසිය සඳහන් කර තිබුණේ ඔහු කලකට පෙර නිරෝධාට හිතවත්ව සිටි ඇය හඳුනන පුද්ගලයෙකු නමුත් ඒ වන විට වේල්ස් අගනුවරම වෙනත් තැනක ඔහු පදිංචිව සිට ඇති බවය.

ඝාතනය සම්බන්ධයෙන් මීට පෙර සැකකරුව අධිකරණය ඉදිරිපත් කළ අවස්ථාවක තියුණු උල් ආයුධයක් තමන් සතුව තිබූ බව පිළිගත්තද නිරෝධාගේ ඝාතනයේ වරද ඔහු ප්‍රතික්ෂේප කර තිබුණි.

එහිදී සැකකරුව නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර පසුගිය 12 වනදා නැවතත් සැකකරුව නිව්පෝර්ට් ක්‍රවුන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

එහිදී සැකකරු නිරෝධාගේ ඝාතනයේ වරද පිළිගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන් වේ.

ඒ අනුව ඔහුට හිමි දඬුවම එළැඹෙන පෙබරවාරි මස 20 වනදාට තීන්දු කිරීමට නියමිතව බවට අධිකරණය නියම කර ඇත. 

නිරෝධාගේ පශ්චාත් මරණ පරීක්ෂණයේද සඳහන් කර ඇත්තේ මරණයට මූලික හේතුව තියුණු ආයුධයකින් සිදු වූ තුවාල නිසා ඇය මියගොස් ඇති බවය.