අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර කරන්නේ නැහැ - අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර කරන්නේ නැහැ - අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

January 16, 2026   05:48 pm

රටට අවශ්‍ය දියුණු සමාජීය පුරවැසියා බිහි කිරීමේ අධ්‍යාපන ක්‍රමවේදය කිසිසේත්ම නතර නොකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. 

අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරි කටයුතු පිළිබඳ හලාවත අධ්‍යාපන කලාපයේ බලධාරීන් දැනුවත් කිරීමේ අවස්ථාවකට එක්වෙමිනි. 

රජය මේ රට භාර ගන්නා විට පරිවර්තනීය වෙනසක් සිදු කළ යුතු ප්‍රධානතම ක්ෂේත්‍රයක් ලෙස අධ්‍යාපන ක්ෂේත්‍රය ඉලක්කගතව තිබූ බව ද ඇය ප්‍රකාශ කළාය.

එවැනි සමාජීය පරිවර්තන සිදුකිරීමේදී සුළුතර පිරිසකගෙන් ප්‍රතිවිරෝධතාවන් මතුවිය හැකි බවත්, කෙසේ වුවද ළමා ආරක්ෂණ ප්‍රතිපත්ති රාමුවක්  තුළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කරන බවත් හරිනි අමසූරිය අවධාරණය කරයි.  

වැරදි හඳුනාගෙන ඒවා නිරාකරණය කරමින් යන නව අධ්‍යාපන ක්‍රමවේදයේදී, ළමයාට තාක්ෂණය හඳුන්වා දීම, ළමා ආරක්ෂණ ප්‍රතිපත්ති සුරැකෙන සේ යම්කිසි රාමුවක් තුළ සිදුකළ යුතුය.

වෘත්තීය අධ්‍යාපනය වෙනුවෙන් වූ වැඩිම අයවැය මුදල් වෙන්කිරීම මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා සිදුවිණි.  

පාසල් අතර පවතින ඩිජිටල් අසමානතාවය හා යටිතල පහසුකම් ගැටලු තුරන් කිරීම සඳහා මේ වනවිට  අදාළ ව්‍යාපෘතීන් ක්‍රියාවට නැංවෙමින් පවතියි. 

6 වසරේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් තාවකාලිකව අත්හිටුවීම මගින් අසාධාරණයට ලක්වූ සිසුන් හට ඉක්මනින්ම සාධාරණයක් ඉටුකිරීමට කටයුතු කරන බව ද අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය.

පරිවර්තනීය වෙනසක් කරා අධ්‍යාපනය රැගෙන යන මෙම ගමනේදී ඒ සඳහා ජනතාවගේ පිළිගැනීම අතිශය වැදගත් බව  ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් කියා සිටියාය.