ලංගම බස් රථ රියදුරෙකුට බරපතළ වැඩ සහිත සිරදඬුවම්

ලංගම බස් රථ රියදුරෙකුට බරපතළ වැඩ සහිත සිරදඬුවම්

January 19, 2026   07:43 pm

ධාවනයට නුසුදුසු ලංගම බස් රථයක් පටු මාර්ගයක ධාවනය කර පුද්ගලයෙකු මරණයට පත්කිරීමේ චෝදනාවකට වරදකරු වූ කැබිතිගොල්ලෑව ඩිපෝවේ බස් රථ රියදුරෙකුට අධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසරක සිරදඬුවමක් නියම කර තිබේ.

ඊට අමතරව රුපියල් 15,000ක දඩ මුදලක් හා මරණකරුගේ පාර්ශවයට මුදලින් රුපියල් ලක්ෂ 05ක වන්දියක් ගෙවන ලෙස ද කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් විත්තිකාර රියදුරාට නියම කර ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

2017 වසරේ ජූලි මස 8වනදා ධාවනයට නුසුදුසු ලංගම බස් රථයක් පටු මාර්ගයක අපරික්ෂාකාරි ලෙස ධාවනය කර පුද්ගලයෙකු මරණයට පත් කර සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා 05ක් යටතේ අදාළ ලංගම රියදුරාට එරෙහිව නඩු පවරා තිබුණි.

එම නඩුවේ තීන්දුව ලබාදෙමින් අදාළ චෝදනා සඳහා විත්තිකරු වරදකරු බවට තීන්දු කළ කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණය ඔහුට බරපතළ වැඩ සහිත සිර දඬුවමක්, දඩ සහ වන්දි නියම කර තිබේ.

එමෙන්ම විත්තිකාර ලංගම රියදුරුගේ රියදුරු බලපත්‍රය වසරකට අත්හිටුවීමටද අධිකරණය නියෝග කළ බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.