ශ්‍රී ලංකාව - ප්‍රංශය අතර වරාය හා ගුවන් සේවා ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනයට සාකච්ඡා

ශ්‍රී ලංකාව - ප්‍රංශය අතර වරාය හා ගුවන් සේවා ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනයට සාකච්ඡා

January 22, 2026   09:58 pm

ශ්‍රී ලංකාවේ ප්‍රංශ රජයේ තානාපති Remi Lambert මහතා සහ වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා, නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා හමුවක් සිදුව තිබේ.

එම හමුවේදී කලාපීය සම්බන්ධතා ශක්තිමත් කිරීම, ගුවන් සේවා යටිතල පහසුකම් සංවර්ධනය, වරාය සංවර්ධන ව්‍යාපෘති සහ ආයෝජන ආකර්ශණය වැනි කරුණු සම්බන්ධයෙන් සවිස්තරාත්මකව අදහස් හුවමාරු කරගත් බව වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි.

ප්‍රංශ තානාපති රෙමී ලැම්බර්ට් මහතා අදහස් දක්වමින්, ඉන්දියන් සාගර කලාපයේ මූලික මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රංශයට විශේෂ වැදගත්කමක් දරන බව සඳහන් කළ අතර, ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශවික සබඳතා තවදුරටත් පුළුල් කිරීමට ප්‍රංශය සූදානම් බවද අවධාරණය කළේය.

ඒ අනුව, අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම ගුවන් හා නාවික ක්ෂේත්‍ර දෙකම සඳහා උපායමාර්ගික වශයෙන් ඉතා වැදගත් බව පෙන්වා දුන් අතර, ප්‍රංශය සමඟ සහයෝගීතාව වර්ධනය කර ගැනීමට රජයේ කැමැත්තද ප්‍රකාශ කළේය.

මෙහිදී, දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවට සිදු වූ බලපෑම පිළිබඳව කණගාටුව පළ කළ ප්‍රංශ තානාපතිවරයා, යුරෝපා සංගමය සමඟ එක්ව මානුෂීය සහය ලබාදීමට ප්‍රංශ රජය දායක වූ බව සඳහන් කළේය. 

තවද, ප්‍රංශ සංවර්ධන ඒජන්සිය (AFD) හරහා ඉදිරියේදී ආපදා ප්‍රතිපාදන සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා උපරිම සහාය ලබාදීමට සලකා බලන බවද පැවසීය. අමාත්‍යවරුන් දෙදෙනා ප්‍රංශ රජයට කෘතවේදීත්වය පළ කළහ.

සාකච්ඡාවේදී සංචාරක ව්‍යාපාරය පිළිබඳවද අවධානය යොමු කෙරුණු අතර, වාර්ෂිකව ලක්ෂයකට අධික ප්‍රංශ සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණෙන බවත්, සුළි කුණාටුවෙන් පසුද සංචාරක උපදෙස් ධනාත්මකව පවත්වා ගැනීමට ප්‍රංශ රජය කටයුතු කර ඇති බවත් තානාපතිවරයා ප්‍රකාශ කළේය.

තවද, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන් ගමනාගමනය ඉහළ දැමීමේ අවශ්‍යතාව පෙන්වා දුන් තානාපතිවරයා, ඒ සඳහා සංඥා පද්ධති, රේඩාර්, ගුවන් පාලන කළමනාකරණ තාක්ෂණයන් සම්බන්ධයෙන් ප්‍රංශ සමාගම් සතුව පවතින පළපුරුද්ද හරහා සහාය ලබාදිය හැකි බව සඳහන් කළේය. 

දැනටමත් රේඩාර් සහ ඊ-ගේට් පහසුකම් සපයා ඇති බවද ඔහු පැවසීය.

මෙම හමුවේදී ශ්‍රීලංකන් ගුවන් සේවය සහ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ පිළිබඳවද අදහස් හුවමාරු වූ අතර, ප්‍රංශයේ Airbus සමාගම මඟින් මත්තල කලාපයේ ආයෝජන ව්‍යාපෘතියක් සලකාබැලිය හැකි බව තානාපතිවරයා පෙන්වා දුන්නේය.

එසේම, කොළඹ වරායේ බටහිර පර්යන්ත ව්‍යාපෘතිය පිළිබඳවද අවධානය යොමු වූ අතර, දැනට ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව විසින් සකස් කරමින් පවතින ශක්‍යතා හා තාක්ෂණික වාර්තා ලැබුණු පසු සුදුසු ආයෝජන ආකෘතිය තීරණය කිරීමට කටයුතු කරන බව අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළේය.