යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් කැප වී සිටිනවා - ජනපති

යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් කැප වී සිටිනවා - ජනපති

February 3, 2026   04:51 pm

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීමේ (AML/CFT) ජාත්‍යන්තර ප්‍රමිතීන් පිළිබඳව ශ්‍රී ලංකාව මුහුණ දෙන තෙවන අන්‍යෝන්‍ය ඇගයීම (3rd Mutual Evaluation) පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

අප රජයක් ලෙස බාහිර පාර්ශවන්ට අපේ  පිරිසිදු බව පෙන්වීමට පෙර, අප වෙනුවෙන්ම වග වී යහපත් ආණ්ඩුකරණයක් සඳහා කැප විය යුතු බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් ආයතනික මට්ටමින් පැවරී ඇති වගකීම් නිසි ලෙස ඉටු කරමු’යි සියලු දෙනාට ආරාධනා කළේය.

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීම සඳහා වන ගෝලීය ප්‍රතිපත්ති සම්පාදනය කරනු ලබන්නේ මූල්‍ය කාර්ය සාධක බලකාය (FATF) විසිනි. එමෙන්ම සමූල ඝාතන අවි නිෂ්පාදනයට අරමුදල් සැපයීම වැළැක්වීම සඳහාද මෙම කාර්යසාධක බලකාය විසින් ප්‍රතිපත්ති සම්පාදනය කෙරේ. එහිදී සියලු රටවල් අනුගමනය කළ යුතු නිර්දේශ 40ක් මේ වන විට මූල්‍ය කාර්යසාධක බලකායෙන් නිකුත් කර ඇත. මෙමගින් මූල්‍ය විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීම සඳහා ඒ ඒ රටවල පිහිටුවා ඇති පද්ධති, ඒවා කාර්යක්ෂමව ක්‍රියාත්මක වී ඇති ආකාරය, නීතිමය රාමුව, සම්පත් යෙදවීම, ඵලදායීතාව සහ පාර්ශ්වකරුවන්ගේ හැකියාව ඇතුළු නිර්ණායක පිළිබඳව ගැඹුරු විශ්ලේෂණයක් සිදු කරයි. මෙම ක්‍රියාවලිය අන්‍යෝන්‍ය ඇගයීම ලෙස හැදින් වේ.

මෙය ජාතික මට්ටමේ විගණන ක්‍රියාවලියක් වන අතර, අදාළ කලාපීය අධීක්ෂණ ආයනය විසින් එම කටයුතු සම්බන්ධීකරණය කෙරේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ එම ඇගයීම පිළිබඳ අධීක්ෂණ කටයුතු සිදු කරන්නේ මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායම විසිනි. මේ සඳහා උපදේශකත්වය එහි හිටපු විධායක ලේකම්වරයෙකු වන ආචාර්ය Gordon Hook මහතා විසින් සැපයේ. දේශීයව මෙම ක්‍රියාවලිය සඳහා පාර්ශ්වකාර රාජ්‍ය ආයතන 25ක් පමණ සම්බන්ධ වන අතර, එහි සම්බන්ධීකරණ කටයුතු ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්ථාපිත මූල්‍ය බුද්ධි ඒකකය විසින් සිදු කරනු ලැබේ. 

ජනාධිපතිවරයා විසින් පත් කරන ලද මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඬ පැවැත්වීම සම්බන්ධයෙන් වූ ක්‍රියාකාරී කමිටුව විසින් අදාළ ඇගයීම් ක්‍රියාවලියේදී මෙම පාර්ශ්වකරුවන් ක්‍රියාත්මක කළ යුතු ක්‍රියාකාරී සැලසුම්වල ප්‍රගතිය අධීක්ෂණය කෙරේ.  

ශ්‍රී ලංකාව මින් පෙර 2006 සහ 2014-2015 වසරවලදී මෙම ඇගැයීමට ලක්ව, ඉන් අසාර්ථක වී 2017 වසරේදී ජාත්‍යන්තරව අසාදු ලේඛනගත (Greylisted) වීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය. ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ විශ්වාසනීයත්වය තහවුරු කිරීමට ශක්තිමත් දේශපාලන නායකත්වයක් වත්මන් රජය ලබා දෙන බැවින්,  ජාතික ප්‍රමුඛතාවක් ලෙස සලකා මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට කැපවීමේ අවශ්‍යතාවත් මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.