සිකුරාදා පාර්ලිමේන්තු කටයුතුවල සංශෝධනයක්
February 3, 2026 09:28 pm
පෙබරවාරි 6 වැනි සිකුරාදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු කටයුතුවල සංශෝධනයක් සිදු කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.
නිවේදනයක් නිකුත්කරමින් පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඒ බව සඳහන් කර ඇත.
ඒ අනුව, අංක 2473/14 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති මහජන ආරක්ෂක ආඥාපනත යටතේ නිකුත් කළ ප්‍රකාශනය ඇතුළත් යෝජනා සම්මතය පෙබරවාරි 6 වැනි සිකුරාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 දක්වා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට තීරණය කර තිබේ.
මෙම තීරණය ගෙන ඇත්තේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පස්වරු 1.30ට රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදීය.
ඒ අනුව, එදින විවාදයට ගැනීමට නියමිතව තිබූ පෞද්ගලික මන්ත්‍රී යෝජනා සහ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව වෙනත් දිනයකදී විවාදයට ගැනීමටත් මෙහිදී තීරණය කර ඇත.
තවද, 2026 ජනවාරි 28 දිනැති අංක 2473/13 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ නිකුත් කළ යෝජනා සම්මතයද පෙබරවාරි 6 වැනි සිකුරාදා ප.ව. 5.30ට කිසිදු විවාදයකින් තොරව අනුමත කර ගැනීමට මෙහිදී එකඟත්වය පළ වී ඇති බවද මහ ලේකම්වරිය සඳහන් කළාය.
