78 වැනි නිදහස් දිනය වෙනුවෙන් අමෙරිකාවෙන් සුබපැතුම්

78 වැනි නිදහස් දිනය වෙනුවෙන් අමෙරිකාවෙන් සුබපැතුම්

February 4, 2026   09:17 am

අමෙරිකා සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාවය ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ ඉදිරියේදීත් අඛණ්ඩව පවතිනු ඇති බව අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ 78 වැනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ශ්‍රී ලාංකික ජනතාවට සුබ පැතුම් එක් කරමින් ඔහු මේ බව සඳහක් කර ඇත.

ඉන්දු-පැසිෆික් කලාපය තුළ පොදු අරමුණු හා අවශ්‍යතා මත පදනම් වූ ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර වැඩිදියුණු වෙමින් පවතින හවුල්කාරි වැඩපිළිවෙලක් පිළිබඳවද ඔහු මෙහිදී අවධාරණය කළේය.

අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ මහතා පවසා ඇත්තේ, “ශ්‍රී ලංකාවේ ජාතික දිනය සමරන මේ අවස්ථාවේදී එරට ජනතාවට සුබ පැතුම් පිරිනමීම මට මහත් ගෞරවයක්” යනුවෙනි.

එමෙන්ම, “ස්වාධීන, ආරක්ෂිත හා සමෘද්ධිමත් ඉන්දු–පැසිෆික් කලාපයක් සඳහා ඇති පොදු කැපවීම මත, අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර අන්‍යෝන්‍ය ගෞරවයෙන් යුත් සබඳතාවක් ගොඩනැගී ඇත” යනුවෙන්ද ඔහු සඳහන් කළේය.

ට්‍රම්ප් පරිපාලන සමයේදී දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වූ බව පෙන්වා දුන් රුබියෝ මහතා, ශ්‍රී ලංකාවට බලපෑ දැඩි “දිට්වා” සුළි කුණාටුවෙන් පසු අමෙරිකාව විසින් ලබාදුන් සහායද උදාහරණයක් ලෙස දක්වා ඇත.

“දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලාංකික ජනතාවට අමෙරිකාව විසින් ලබාදුන් සහාය මගින් අපගේ හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් වූ බව පෙනී යයි” යනුවෙන් ඔහු කියා සිටියේය.