78 වැනි නිදහස් සංවත්සරයට චීන ජනපතිගෙන් සුබ පැතුම්

78 වැනි නිදහස් සංවත්සරයට චීන ජනපතිගෙන් සුබ පැතුම්

February 4, 2026   03:30 pm

ශ්‍රී ලංකාවේ 78 වැනි නිදහස් සංවත්සරය වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක්කර තිබේ.

චීනය සහ ශ්‍රී ලංකාව සුහදශීලි මෙන්ම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත සහයෝගීතාවයක් අනුගමනය කරන හවුල්කරුවන් වන අතර සංවර්ධන සහ පුනර්ජීවන මාවතේ ගමන්කරන සගයන් බව ෂී මහතා සිය පණිවිඩයේ සඳහන් කර තිබේ.

2025 ජනවාරි මාසයේදී ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන රාජ්‍ය සංචාරය සිහිපත් කරමින් ෂී මහතා පවසා ඇත්තේ එම සංචාරයේදී ඵලදායී සාකච්ඡා පවත්වා ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කිරීම සඳහා දෙපාර්ශවයම පුළුල් එකඟතාවයකට පැමිණි බවය.

එමෙන්ම චීන-ශ්‍රී ලංකා සබඳතා වර්ධනයට තමන් විශාල වැදගත්කමක් දක්වන බව ද ෂී මහතා පවසයි.

චීන-ශ්‍රී ලංකා උපායමාර්ගික සහයෝගීතා හවුල්කාරිත්වය වර්ධනයට සහ දෙරටේ ජනතාවට වඩා ඉහළ ප්‍රතිලාභ ලබා දීම සඳහා පොදු අනාගතයක් සහිත ප්‍රජාවක් ගොඩනැගීමට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමඟ ඉදිරියටත් කටයුතු කිරීමට සූදානමින් සිටින බවද චීන ජනපති ෂී මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

මේ අතර අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට ද චීන අගමැති ලී කියැං මහතා නිදහස් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් එවා තිබුණි.