මාරක අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට
February 8, 2026 08:35 am
දිවයිනේ ප්රදේශ කිහිපයක සිදු වූ අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
මහනුවර - යාපනය A9 මාර්ගයේ කැකිරාව රෝහල අසලදී සිදු වූ අනතුරකින් 65 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබේ.
මරදන්කඩවල දෙසට ධාවනය වූ ලොරි රථයක්, මාර්ගය හරහා ගමන් කළ එම පදික කාන්තාවගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් පදික කාන්තාව තුවාල ලබා කැකිරාව රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මෙලෙස මියගොස් තිබේ.
ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කැකිරාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
එමෙන්ම අම්පාර සියඹලාණ්ඩුව මාර්ගයේ මිනීමරු හන්දිය ආසන්නයේදී සියඹලාණ්ඩුව දෙසට ධාවනය වූ එළවළු පටවාගත් ලොරි රථයක් ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්රීරෝද රථයක මුහුණට මුහුණ ගැටීමෙන් ද මාරක අනතුරක් සිදුව ඇත.
අනතුරින් ත්රීරෝද රථයේ ගමන් කළ රියැදුරු, කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා අම්පාර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එහි සිටි එක් කාන්තාවක් මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 73ක් වූ තල්ගස්පිටිය, හබලන්කාව ප්රදේශයේ පදිංචිකාරියකි.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියැදුරු හා ත්රීරෝද රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර එරගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
ගාල්ල කොළඹ ප්රධාන මාර්ගයේ රන්දොඹේ ප්රදේශයේදී සිදු වූ අනතුරකින් ද තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
බලපිටිය දෙසට ධාවනය වූ වෑන් රථයක් ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුරක් සිදුව ඇත.
අනතුරින් යතුරුපැදියේ පැදිකරු හා පසු පැදිකරු තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු යතුරුපැදියේ පැදිකරු මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 29ක් වූ අළුත්වල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් වෑන් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
