බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටිනවා සේම අනෙකුත් සංස්කෘතීන් ආරක්ෂා කරනවා - නාමල්
February 11, 2026 07:33 pm
තමන් බෞද්ධාගම වෙනුවෙන් පෙනී සිටින බවත්, බුද්ධ ශාසනය වෙනුවෙන් මහා සංඝරත්නය වෙනුවෙන් පෙනී සිටීම ජාතිවාදය නොවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පා.ම. නාමල් රාජපක්ෂ මහතා පවසයි.
නෙළුම් මාවතේ පක්ෂ කාර්යාලයේ අද (11) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
මෙහිදී නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් පවසා සිටියේ, තමන් සිංහල බෞද්ධ වුවත්, අනෙක් සංස්කෘතීන්, භාෂා මෙන්ම ආගම් ආරක්ෂා කිරීමටද කටයුතු කරන බවය.
"අපි සිංහල බෞද්ධාගම වෙනුවෙන් පෙනී සිටිනවා. මොකද මේ රටේ බහුතරයක් බෞද්ධ ජනතාව ඉන්නවා. ඒ වගේම අපි මේ රටේ බෞද්ධයෝ. ඉතින් අපි මේ රටේ ජනතාව වෙනුවෙන් සහ බෞද්ධ වෙනුවෙන් පෙනී ඉන්නවා.
බුද්ධ ධර්මය වෙනුවෙන් සහ බුද්ධ ශාසනය වෙනුවෙන් මහා සංඝරත්නය වෙනුවෙන් පෙනී ඉන්න එක ජාතිවාදය නෙමෙයි.
ඒ වගේම, බෞද්ධ සංස්කෘතිය සහ බෞද්ධ දර්ශනය සේම මේ රටේ සියලු ආගම් සියලු සංස්කෘතීන් ආරක්ෂා කරන්න අපි පෙනී සිටිනවා. මේ රට ගොඩනැගිලා තියෙන්නේ බෞද්ධ පදනම මත. ඒ රටේ සියලු ආගම් ආරක්ෂා කරන්න හැකියාව තියෙනවා. ඒ හින්දා අපි බයක් නෑ.
මම සිංහල බෞද්ධ තමයි. ඒ වගේම අනිත් සංස්කෘති ආරක්ෂා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මට මගේ සංස්කෘතිය මගේ දහම විශ්වාස නිසා.
ඉතින් ආගමක් දහමක් විශ්වාස කරන්නේ නැති අයට තවත් කෙනෙක්ගේ භාෂාවක් ආගමක් දහමක් සංස්කෘතියක් ආරක්ෂා කරන්න බෑ" යනුවෙන්ද ඔහු පැවසීය.
"ආණ්ඩුව තීන්දු කරන්න ඕන ඡන්දේ තියනවද, නැත්නම් මාව හිරේ දාලා ඡන්දෙකට යනවද, ඊට කලින් ඡන්දයකට යනවද කියලා. ඔය දෙක අතර දෙගඩියාවෙන් ඉන්නේ. ආණ්ඩුව මට ඇඟිල්ල දිගු කරලා හරියන්නෙ නෑ.
මම විශ්වාස කරනවා නායකයෝ බිහිවෙන්න ඕන. ජනතාව හොඳ කෙනෙක් තෝරාගනී. මේ රටේ නායකයන්ගේ හිඟයක් තියනවා. අවසානයේ නායකයෝ නැති, වෙනත් අය විසින් මෙහෙයවන රූකඩ චරිත නායකත්වයට බිහිවෙයි.
ඒ හින්දාදේශපාලන පක්ෂවල ඉන්න නායකයෝ හැමෝම ඊළඟ නායකත්වයට සූදානම් වෙන්න ඕන. ජනතාව හොඳ පුද්ගලයෙක් පත්කරගනී" යනුවෙන්ද ඔහු පැවසීය.
