ඔබේ ජංගම දුරකථනය අස්ථානගත වුණාද? සොරකම් කරාද?  ගතයුතු ක්‍රියාමාර්ග මෙන්න

ඔබේ ජංගම දුරකථනය අස්ථානගත වුණාද? සොරකම් කරාද?  ගතයුතු ක්‍රියාමාර්ග මෙන්න

February 12, 2026   08:48 pm

ජංගම දුරකථන අස්ථානගතවීමකදී හෝ සොරකම් කිරීමකදී ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධව පොලීසිය විසින් මහජනතාව වෙත දැනුම්දීමක් සිදුකර තිබේ.

නිවේදනයක් නිකුත්කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් මෙම දැනුම්දීම සිදුකර ඇත.

  • පළමුව සිම්පත අක්‍රීය කිරීම. (සිම්පත ලබාගත් සේවා සපයන ආයතනය හරහා මෙම අක්‍රිය කර ගැනීම සිදුකළ හැක.)

එහිදී තෙවන පාර්ශ්වයකට ජංගම දුරකථනය නීතිවිරෝධි, සමාජ විරෝධි සහ අනීතික කටයුතු සඳහා යොදා ගැනීමේ හැකියාව අහිමි වෙයි. සිම්පත අක්‍රීය කිරීම හරහා වෙනත් පාර්ශවයකට ලැබෙන්නා වූ එම ජංගම දුරකථනය නැවත සොයා ගැනීමටද පහසුවනු ඇත.

  • ජංගම දුරකථනයක් නැති වූ හෝ අස්ථානගත වූ විටෙකදී සොරකමට භාජනය වූ ජංගම දුරකතනයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන විට IMEI අංකය සඳහන් කිරීම වැදගත් කරුණකි.

 

  • ජංගම දුරකථනය අස්ථානගත වන්නට පෙර, නැති වෙන්නට පෙර, IMEI අංකය ඇතුළු සේවා විස්තර තමා සතුව තබා ගැනීම අදාළ පුද්ගලයන්ගේ වගකීමකි. ජංගම දුරකථනයක IMEI අංකය සොයා ගැනීම සඳහා මෙම කෙටි යෙදුම (*#06# ) භාවිතා කළ හැක.

 

  • තවද ශ්‍රී ලංකා පොලීසිය මඟින් මෘදුකාංගයක් හරහා ජංගම දුරකථන සොයා ගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී ඇති අතර ඒ සඳහා ineed.police.lk නම් වෙබ් අඩවියට පිවිස ලියාපදිංචි විය හැකි බව පොලීසිය පවසයි.