නව පරිවර්ථනයක් සමග නව පුනරුද යුගයක් කරා රට ගමන් ගනිමින් තිබෙනවා - ජනපති
February 15, 2026 06:39 am
දිට්වා සුළි කුණාටුවෙන් ඇතිවූ ව්‍යවසනයට මුහුණ දීමෙන් පසු තිර අදිටනින් සහ සැලසුම් සහගතව නැගී සිටිමින් දේශපාලන, ආර්ථික සහ සමාජයීය නව පරිවර්ථනයක් සමග නව පුනරුද යුගයක් කරා මේ වන විට රට ගමන් කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ශිව රාත්‍රි දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ මහා ශිව රාත්‍රී දින දැල්වෙන පහන් ආලෝකයෙන් හදවත් එකලු කරමින් තෝරා ගත් එම ගමන් මාර්ගය වඩ වඩාත් හෙළි කර ගැනීමට එක්වන ලෙස තමන් සියලු පාර්ශ්වයන්ට ආරාධනා කරන බවය.
ජනාධිපතිවරයා නිකුත් කළ සම්පූර්ණ සුබ පැතුම් පණිවිඩය පහතින්,
මෝහන්ධකාරය දුරු වී ප්රඥාලෝකය දැල්වේවා යන ප්‍රාර්ථනයෙන් ලෝකවාසී හින්දු ජනතාව මහත් බැතියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අදට යෙදී තිබේ.
ලෝකවාසී හින්දු බැතිමතුන් විසින් ශිව දෙවියන් උදෙසා පුද පූජා පවත්වන මංගල්‍යය ලෙස මහා ශිව රාත්‍රී දිනය සැලකේ. ශිව දෙවියන් සහ පාර්වතීගේ එක් වීමත්, ශිව දෙවියන් ඔහුගේ දිව්‍යමය නර්තනය වන තාණ්ඩව නර්තනය ඉදිරිපත් කරන අවස්ථාවත් මෙමඟින් සිහිපත් කෙරේ. එයින් ලෝකයෙහි හා ජීවිතයෙහි "මෝහන්ධකාරය ජය ගැනීම" සංකේතවත් කරයි.
සියලු මානව බැඳීම්වලට ගරු කරන විනයගරුක සහ සහකම්පනයෙන් යුත් සමාජයක් ගොඩනැඟීමේදී මෙවැනි ආගමික හා සංස්කෘතික අවස්ථා ඉතා වැදගත් බව මම තරයේ විශ්වාස කරමි. මමත්වය දුරු කරමින් සිත් සතන් තුළ ආධ්‍යාත්මික පිබිදීමක් ජනිත කරවන මහා ශිව රාත්‍රී ආගමික වත්පිළිවෙත් අවංකභාවය, ත්‍යාගශීලිභාවය සහ සමාව දීම යන සත්‍යවාදී ගුණාංග අනුව ජීවත්වීමට අපිට ආරාධනා කරයි.
එමෙන්ම, මහා ශිව රාත්‍රියේ ආධ්‍යාත්මික පණිවිඩය එකිනෙකා අතර සාමුහික බව තවදුරටත් ශක්තිමත් කරන අවස්ථාවක් ලෙසද මම දකිමි.
මෑත කාලීන දරුණුතම ස්වභාවික ව්‍යසනයකට මුහුණ දීමෙන් පසුව, ඒ හමුවේ තිර අදිටනින් සහ සැලසුම් සහගතව නැඟී සිටීමින් දේශපාලන, ආර්ථික සහ සමාජයීය නව පරිවර්තනයක් සමඟ නව පුනරුද යුගයක් කරා අපි මේ වන විට ගමන් කරමින් සිටින්නෙමු. මහා ශිව රාත්‍රී දින දැල්වෙන පහන් ආලෝකයෙන් හදවත් එකලු කරමින් අප තෝරා ගත් එ'මඟ වඩ වඩාත් හෙළි කර ගැනීමට එක්වන ලෙස මම සියලු දෙනාට ආරාධනා කරමි.
මහා ශිව රාත්‍රී දිනය සමරන ශ්‍රී ලාංකික හින්දු බැතිමතුන් ඇතුළු ලෝකවාසී හින්දු ජනතාවගේ යහපත් අභිමතාර්ථ සඵල වන අර්ථවත් මහා ශිව රාත්‍රී දින සැමරුමකට ශුභාශිංසන එක් කරමි.
