ජාත්‍යන්තර ළමා පිළිකා දිනය අදයි

ජාත්‍යන්තර ළමා පිළිකා දිනය අදයි

February 15, 2026   09:19 am

ජාත්‍යන්තර ළමා පිළිකා දිනය අදට (15) යෙදී තිබේ.

මෙවර තේමාව වනුයේ "ළමා පිළිකාව ජය ගැනීම අත්දකිමු" යන්න වන අතර ලෝක ඒකත්වයේ බලපෑම සහ ළමුන් සියල්ලන්ට සමාන පිළිකා සත්කාර ලබාදීම සඳහා ඉදිරියට ගමන් කිරීමේ සාර්ථකත්වයන් මෙමගින් අවධාරණය කෙරේ.

මෙම දිනය සැමරීමේ පරමාර්ථය වනුයේ ළමා පිළිකා පිළිබඳව දැනුවත් කිරීම සහ පිළිකාවෙන් පීඩා විඳින දරුවන්, ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් සහ ඔවුන්ට සෞඛ්‍ය හා සෞඛ්‍ය නොවන සේවා සපයන්නන් සඳහා සහයෝගය ප්‍රකාශ කිරීමය.

ජාත්‍යන්තර ළමා පිළිකා දිනය වාර්ෂිකව සමරනු ලබන අතර එදිනට සමගාමීව ළමා පිළිකා පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සහ ලොව පුරා පිළිකාව සමග සටන් කරන දරුවන් සඳහා ප්‍රශස්ත ප්‍රතිකාර, රැකවරණය සහ සහයෝගය සඳහා වඩා හොඳ ප්‍රවේශයක් සඳහා පෙනී සිටිනු ලබයි.

උපතේ සිට වයස අවුරුදු 19 දක්වා වන ළදරුවන්, ළමුන් සහ නව යොවුන් වියේ දරුවන් අතර හඳුනා ගන්නා පිළිකා ළමා පිළිකා ලෙස හඳුන්වනු ලැබේ.

එය ලොව පුරා වාර්තා වන ළමා රෝග හා මරණවලට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන අතර රෝගීන් වාර්ෂිකව වැඩි වීමේ ප්‍රවනතාවයක්ද වාර්තා වේ.

ලොව පුරා වාර්ෂිකව ළමා පිළිකා ලක්ෂ 4ක් පමණ අලුතින් හඳුනා ගනු ලබන අතර ජාතික පිළිකා ලේඛනයට අනුව 2022 වසර තුළදී ශ්‍රී ලංකාවේ ළමා පිළිකා රෝගීන් 940ක් වාර්තා වී ඇති බව ජාතික පිළිකා මර්දන වැඩසටහන සඳහන් කළේය.

ඒ අතුරින් පිරිමි ළමුන් 499ක් සහ ගැහැණු ළමුන් 441ක් පිළිකා රෝගීන් ලෙස හඳුනා ගෙන ඇති බවත් 2021 වර්ෂයේදී රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් ළමා පිළිකා සම්බන්ධ මරණ 199ක් වාර්තා කර ඇති බවත් එයින් 121ක් පිරිමි ළමුන් සහ 78ක් ගැහැණු ළමුන් බවද ජාතික පිළිකා මර්දන වැඩසටහන දක්වා තිබේ.

ලියුකේමියාව ( ලේ පිළිකා) ලිම්ඨෝමා (වසා ග්‍රන්ථි ආශ්‍රිත පිළිකා), මොළයේ පිළිකා සහ අස්ථි ආශ්‍රිත පිළිකා ළමුන් අතර බහුලව වාර්තා වන පිළිකා වන අතර ළමා පිළිකා හේතුවෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුව ඇත්තේ ලියුකේමියාව සහ මොලයේ පිළිකා හේතුවෙන් බවද එම වැඩසටහන පෙන්වා දී ඇත.

ළමා පිළිකා බහුලව දැකිය නොහැකි අතර බොහෝ ළමා පිළිකා මුල් රෝග ලක්ෂණ ඇතිවන අවස්ථාවේදී හඳුනාගෙන නිසි ප්‍රතිකාර කිරීමෙන් සම්පූර්ණයෙන් සුවකර ගැනීමේ හැකියාව පවතී.

ඔවුන්ගේ මූලික රෝග විනිශ්චයෙන් පසුව අවුරුදු 5ක් දක්වා ජීවත්වීමේ හැකියාව ඉහළ ආදායම් ලබන රටවල 80%කට වඩා වැඩිවන අතර අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල 10-50%ක් දක්වා පරාසයක පවතී.

මෙම අසමානතාවයට හේතු වශයෙන් රෝග විනිශ්චය ප්‍රමාද වීම, නිවැරදි රෝග විනිශ්චය ලබා ගැනීමට නොහැකි වීම, ප්‍රතිකාර ලබා ගැනීමට ඇති නොහැකියාව, ප්‍රතිකාර අත්හැරීම සහ අතුරු ආබාධ නිසා මරණයට පත්වීම සැලකිය හැකිය.

ළමා පිළිකා රෝගියෙකුට ප්‍රතිකාර කිරීම රෝගියාගේ පවුලේ සහ සෞඛ්‍ය සේවා කණ්ඩායම් අතර සහයෝගීතාවයෙන් සමන්විත සංකීර්ණ හා අභියෝගාත්මක ක්‍රියාවලියක් වේ.

ඔවුන් සඳහා සේවා සැපයීමේදී මුහුණ පෑමට සිදුවන අභියෝග හඳුනා ගැනීම සඳහා රෝග නිවාරණ සහ රෝග ප්‍රතිකාරක යන අංශ දෙකෙහිම සෞඛ්‍ය සේවා කණ්ඩායම් නිරන්තර අධීක්ණය සහ ඇගයීමද සිදුකරයි.

ජාතික පිළිකා මර්ධන වැඩසටහන සහ මහරගම අපේක්ෂා රෝහල රට තුළ ක්‍රියාත්මක වන පිළිකා සත්කාරක සේවා පිළිබඳව නිරන්තර අධීක්ෂණ කටයුතුද සිදුකරන ලබයි. 

ළමා පිළිකා සඳහා 2024 සිට 2026 දක්වා වූ තුන් අවුරුදු සැලැස්මක් නිර්මාණය කර ඇති අතර එහි අරමුණ වී ඇත්තේද ඉහත සඳහන් කළ ළමා පිළිකා රෝගියෙකුට ප්‍රතිකාර කිරීම සහ සේවා සැපයීම යන අරමුණු ළඟා කර ගැනීම සඳහා වන අභියෝග ජය ගැනීම සහ පියවරෙන් පියවර, දිගු කාලීන උත්සාහයන් තුළින් ළමා පිළිකා සත්කාර වැඩි දියුණු කිරීම සඳහාය.

තුන් අවුරුදු සැලැස්මේ පළමු වසර වන 2024දී ළමා පිළිකා රෝගීන් මුහුණ දෙන විවිධ අභියෝග සහ අසමානතා හෙළිදරව් කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලද අතර දෙවන වසර වන 2025 වසරේදී පළමු වසරේ හඳුනාගත් අභියෝග, අභියෝගවලට මුහුණ දීම සඳහා විවිධ කලාපවල මතුවූ සහයෝගීතා ප්‍රයත්නයන් සහ නව්‍ය මුලපිරීම් කෙරෙහි අවධානය යොමු කර තිබේ.

අවසන් වසර වන 2026 වසරේදී ළමා පිළිකාව ජය ගැනීම අත්දකිමු යන තේමාව යටතේ එකමුතුව ළඟා කරගත් සමූහ ප්‍රයත්නයක් මූලික කරගනිමින් සාර්ථකත්වයන්, උගත් පාඩම් සහ ධනාත්මක වෙනස්කම් සමගින් සැමට සමාන වූ සත්කාරයක් සඳහා ගෝලීය කැපවීම තවත් ශක්තිමත් කිරීමේ අරමුණින් කටයුතු කරනු ලබයි.

ජාතික පිළිකා මර්දන වැඩසටහන සඳහන් කරනුයේ ළමා පිළිකා රෝග කලින් හඳුනාගෙන නිසි ප්‍රතිකාර කිරීමෙන් සුවකර ගත හැකි බැවින් ළමා පිළිකා රෝගීන් සහ ඔවුන්ගේ පවුලේ සෙසු සාමාජිකයින් රැක බලා ගැනීමට හා ඔවුන්ට වඩා හොඳ ජීවන තත්ත්වයක් සහතික කිරීම සඳහා සියලු පාර්ශ්වයන් අත්වැල් බැඳගත යුතු බවය.