වවුනියාවේ කාන්තා ගෘහමූලික පවුල් 8,000ක් 

වවුනියාවේ කාන්තා ගෘහමූලික පවුල් 8,000ක් 

February 15, 2026   04:21 pm

වවුනියාව දිස්ත්‍රික්කයේ කාන්තා ගෘහමූලික පවුල් 7,999ක් පමණ සිටින බවට අනාවරණවී තිබේ. 

ඒ, එම පවුල්වල ආර්ථික හා සමාජීය තත්ත්වය උසස් කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනකදීය. 

එය අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ සහ නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 

එහිදී මෙම පවුල්වල දරුවන්ගේ ආරක්ෂාව සහ අධ්‍යාපනික අවස්ථා වර්ධනය කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කෙරිණි. 

ඒ අනුව රාජ්‍ය නිලධාරීන්ට ක්‍රියාමාර්ග ගන්නා ආකාරය පිළිබඳ සවිස්තරාත්මක දැනුවත් කිරීමක්ද සිදු කළ බව ද සඳහන් වේ.

2026 අයවැය ප්‍රතිපාදන යටතේ කාන්තා ගෘහමූලික පවුල් සංවර්ධනය සඳහා ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහිදී පැහැදිලි කරමින්, එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී කාර්යසාධනය වැඩිදියුණු කිරීමේ වැදගත්කම අවධාරණය කරන ලදී. 

දරුවන් සම්බන්ධයෙන් ක්‍රියාකිරීමේදී පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව මුහුණ දෙන ගැටලු සහ පරිවාස භාරයේ සිටින ළමුන් සම්බන්ධයෙන් ඇති වන ප්‍රශ්න පිළිබඳව ද සාකච්ඡා කරමින් විසඳුම් මාර්ග සොයා බැලීමට කටයුතු කෙරිණි.