අකුරේගොඩ ඝාතන සැකකරුවන් අද අධිකරණයට - ජංගම දුරකථනවල දත්ත මකා ඇති බව පොලීසිය කියයි
February 18, 2026 01:05 pm
අකුරේගොඩදී නීතිඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අද (18) කඩුවෙල මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ඝාතන සැකකරුවන් ඝාතනයෙන් පසුව සිය ජංගම දුරකථනවල දත්ත මකා ඇති බව පොලීසිය සඳහන් කරයි.
තලංගම, අකුරේගොඩදී ඉකුත් සිකුරාදා පස්වරුවේ නීතිඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කර තිබුණි.
පසුව පොලිස්පතිවරයාගේ උපදෙස්මත සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා පොලිස් කණ්ඩායම් 12ක් පත්කරනු ලැබීය.
ඒ අනුව, සිදුකළ විමර්ශනවලදී බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් ඉකුත් 16වනදා පස්වරුවේ ඝාතනය සඳහා වෙඩික්කරුවන් භාවිත කළ ගිනිඅවි ප්රවාහනය කළ සොහොයුරන් දෙදෙනකු කොට්ටාවේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවේය.
අනතුරුව ඔවුන් දෙදෙනා කඩුවෙල මහෙස්ත්රාත් අධිකරණයට ඊයේ (17) ඉදිරිපත් කිරීමෙන් පසුව අද දක්වා රඳවාගෙන ප්රශ්න කිරීමට පොලීසියට අවසර හිමිව තිබුණි.
මේ අතර ඔවුන්ගෙන් සිදුකළ ප්රශ්න කිරීම්වලදී ඊයේ (17) පස්වරුවේ පොල්ගස්ඕවිට ප්රදේශයේදී පොල්ගස්ඕවිට 'ඩිලා' නැමැත්තෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඔහුගේ උපදෙස් මත අදාළ තරුණයන් දෙදෙනා ගිනිඅවි ප්රවාහනය කළ බවත් ඒ සඳහා 'ඩිලා' නැමැත්තාද එක්ව ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබේ.
